මේගන් ගැන දන්න නොදන්න දේ



හැරී කුමරු සමඟ විවාහ වන ඇමෙරිකන් ටෙලි නිළිය මේගන් මාකෙල් උපත ලබා ඇත්තේ 1981 වසරේ අගෝස්තු 4 වැනිදාය.

ඇගේ සම්පූර්ණ නම රේචල් මේගන් මාකෙල්ය.

ඇය රංගනයෙන් දායක වුණු ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවේ ද ඇය නිරූපණය කළේ රේචල් නැමැති නීතීඥ සහායිකාවකගේ චරිතයයි.

මේගන් උපත ලැබුවේත් හැදී වැඩුණේත් ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. වයස අවුරුදු පහේ පටන් ඇය පෞද්ගලික පාසල්වලින් අධ්‍යාපනය ලැබුවාය.

මේගන්ගේ මව ඩොරියා රැග්ලන්ඞ් ය. ඇය යෝග පුහුණුව ලබා දෙන උපදේශිකාවකි. සමාජ සේවිකාවකි.

පියා තෝමස් මාකෙල් ය. තෝමස් මාකෙල් සිනමාකරුවෙකි. ඔහු ආලෝකකරණ ශිල්පියකු ලෙස  සිනමා නිර්මාණ සහ රූපවාහිනී නිර්මාණ රැසකට දායක වී ඇත. අවස්ථා කිහිපයකදී ඔහු ඇගැයීමට ලක් වී ඇති බව වාර්තා වේ.

ඩොරියා සහ තෝමස් දික් කසාද වී ඇත්තේ මේගන්ට අවුරුදු 6 ක් වෙද්දීය. දික්කසාද වුවත් දියණිය වෙනුවෙන් හොඳ අධ්‍යාපනයක් ලබා දමට ඩොරියා සහ තෝමස් කටයුතු කර ඇත.

ඩොරියා අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. පියා නෙදර්ලන්ත (ලන්දේසි) අයර්ලන්ත සම්භවයක් ඇත්තෙකි.

මේගන්ගේ පියා 73 හැවිරිදි තෝමස් මාකෙල්, මීට සතියකට පමණ පෙර, හෘදයාබාධයකට ලක් වුණු බවත්, විවේක ගැනීමට අවශ්‍ය හෙයින් මංගල උත්සවයට සහභාගී නොවනු ඇති බවත් කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හෘදයාබාධයට ලක් වී රෝහලෙන් නිවසට යෑමෙන් පසු, දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් තෝමස් ලක ලෑස්ති වෙන අයුරු දැක්වෙන ඡායාරූප ඕපාදූප පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධ විය.

මංගල උත්සවය වෙනුවෙන් තෝමස් අලුත් ඇඳුම් මැසීමට, ඇඳුම් මසන්නකු ළඟට ගිය අවස්ථාව, ඉන්ටර් නෙට් කැෆේහලකින් අන්තර් ජාලයට පිවිස හැරී සහ මේගන්ගේ ඡායාරූප නරඹන අයුරු එම ඡායාරූපවල දැක්විණි.

තෝමස් මාකල් පදිංචිව සිටින්නේ, ඇමෙරිකා මෙක්සිකෝ දේශීමාවේ රොසාරිටෝ නමැති හුදෙකලා නගරයේය.

තමන් කටුක ජීවිතයක් ගත කරන බව ලොවට පෙන්වීමට, තෝමස් මාකෙල් මුදල් ගෙවා පැපොරාසි ඡායාරූප ශිල්පියකුගේ සහාය ලබා ගත් බව පසුව අනාවරණය විය. එම අනාවරණයත් සමඟ තමන් තම දියණියට ලැජ්ජා කළේ යැයි තෝමස් පවසා තිබුණි.

ඔහු මංගල උත්සවයට නොපැමිණීමට එය ද හේතුවක් වී ඇති බව පැවැසෙයි.

ඒ අනුව, සම්ප්‍රදාය බිඳිමින්, මංගල උත්සවය දා දියණිය දෙව් මැදුරට කැඳවාගෙන විත්, හැරී කුමරුන්ට බාරදීම මේගන්ගේ මව විසින් සිදු කරනු ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(ඬේල්මේල් ඇසුරිනි)


RECOMMEND POSTS