මින්නේරියේ අලි නිවුන්නු



ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවෙන් ද වාර්තා වූ පළමු සජීවී නිවුන් අලි උපත මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී සිදුව ඇති බව වාර්තා වේ. වනෝද්‍යානයේ වෙසෙන කෙනෙරක මෙම නිවුන් පැටවුන් දෙදෙනා ප්‍රසූත කර ඇති බවත්, එව පැටවුන්ගේ වයස මේ වන විට සති තුනක් හතරක් පමණ වන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අලි ඇතුන් අතර නිවුන් දරු උපත් විරලය. එසේ නිවුන් අලි පැටවුන් උපන්නද ජීවත්වීම සැක සහිතය. මෙවැනි අවස්ථාවක බොහෝ විට එක පැටවෙක් මළ දරු උපතක් ලෙසත් අනෙක් පැටවා සජීවී ලෙස උපන්නද වැඩිකල් ජීවත් නොවන බවත් වනජීවී නිලධාරීන් පවසයි. නමුත් ලෝකයේ සජීවී නිවුන් අලි උපත් කිහිපයක්ම වාර්තා වී තිබේ.

2018 වසරේදී මෙරට මාදුරුඔය රක්ෂිතයේ ද  නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු ඉපදී තිබූ නමුත් එම සතුන් උපතේදී මියගොස් තිබිණි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහනුවර ඇත්ගාලේ නිවුන් අලි උපතක් සිදු වුණ බවද ඉතිහාසයේ සඳහන් වේ. පුරාවිද්‍යාඥ ආචාර්ය පී.ඒ.පී දැරණියගල මහතාගේ ග්‍රන්ථයක ද මෙම ඇත්ගාලේ නිවුන් දරු උපත පිළිබඳව සඳහන් වී ඇති අතර රාජ්‍ය ලේඛනාගාරයේද මේ සම්බන්ධ සටහන් තිබේ. එහිදී ඇතින්න එක පැටවකුට උපත දී පැයකට පමණ පසු දෙවන පැටවා ප්‍රසූත කර ඇති නමුත් පළමු පැටවා උපත ලබා ඇත්තේ මළ දරුවෙක් ලෙසිනි. දෙවැන්නා ටික කාලයක් ජීවත් වුවත් පසුව මියගොස් ඇතැයි එම සටහන්වල සඳහන්ය.

මින්නේරිය වනෝද්‍යානයේ මේ දිනවල දක්නට සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසිනි.

එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් බව මූලික පරීක්ෂණවලදී නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාන පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.

දීර්ඝ වේලාවක් ඔවුන්ගේ හැසිරීම් රටා නිරික්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පැටවුන් දෙදෙනා නිවුන් සතුන් ලෙස නිගමනය කිරීමට හැකි සාධක පවතින බව ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කර තිබේ.

මින් පෙර අවස්ථාවකදීද ඇත් අතුරු සෙවන වෙත ලැබුණු අලි පැටවුන් දෙදෙනෙකු ද නිවුන් පැටවුන් විය හැකි බවය නිරීක්ෂණය කර තිබූ නමුත් එය තහවුරු වී නොතිබිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සතුන් නිරික්ෂණය සඳහා විශේෂ ආයාසයක් දැරීම එම සතුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධාවක් බැවින් එසේ කිරීමෙන් වලකින ලෙසයි.

සාමාන්‍යයෙන් ඇතින්නකගේ ගැබ් කාලය වසර දෙකක් වේ. ‍එහෙත් බොහෝ විට මාස 18-23 අතර කාලයක් තුළ ඇතින්නන් හා කෙනෙරන් පැටවු බිහිකරති.

ගැහැනු පැටවකු නම් මාස 18ත්-20ත් අතර ගැබ් කාලයකුත්, පිරිමි පැටවකු නම් මාස 20-21 අතර කාලයකුත්, දළ ඇත් පැටවකු නම් මාස 22-23 අතර කාලයකුත් ගත වන බව පැවසේ. නිවුන් උපත්තිවලදී බොහෝ විට අඩු මාස සංඛ්‍යාවකින් පැටවුන් බිහි වීම සිදුවේ. පැටවුන්ගේ බර වැඩි වීම එයට හේතුවයි.

ඉපදෙන පැටවුන් අකාලයේ මිය යන්නේ ද අඩු මසින් බිහිවීම ‍හේතුවෙනි. 

ර්තමානයේදීත් වනන්තරය තුළ මෙසේ ඉපදී මියගිය නිවුන් අලි පැටවුන් පිළිබඳ රහස් සැගවී තිබෙන්නට හැකියාවක් පවතී. අප සොබාදහම පාලනය කිරීමට කොතරම් උත්සාහ කළත් ඒ තුළ රහස් කන්දක් සැඟවී තිබෙනවාට සැක නැත.

දැනට ජීවමානව හමුවූ අලි පැටවුන් දෙදෙනා ආරක්ෂා කරගතහොත් එය රටට මෙන්ම ලෝකයට  අපූරු සම්පතක් වනු නොඅනුමානය.

සටහන
ඩයනා උදයංගනී

RECOMMEND POSTS