මැදපෙරදිග ‘ෆොටෝකාරි’



වාර්ෂික හජ් වන්දනාවේ අවසන් දින කිහිපය එළැඹෙමින් තිබේ. මුස්ලිම් ජාතිකයෝ තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනාවේ යෙදීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.

පවු ක්ෂමා කරගැනීම ඇතුළු ඉස්ලාමීය පුද පූජාවල යෙදීමේ අරමුණ ඇතිව ලොව පුරා මුස්ලිම් ජාතිකයෝ හජ් වන්දනාවේ යෙදෙති.

ඉස්ලාම් දහමේ ශුද්ධ වූ නගරය ලෙසින් සැලකෙන මක්කම හා මක්කම පිහිටි මහ පල්ලිය කේන්ද්‍ර කරගනිමින් බැතිමත්හු හජ් වන්දනාවේ යෙදෙති.

සෞදිය යනු දැඩි සම්ප්‍රදායවාදී ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන රටකි. මැද පෙරදිග මුස්ලිම් ජාතිකයන් බහුරතයක් වෙසෙන අනෙක් රටවල් ද ඉන් බොහෝ වෙනස් වන්නේ නැත. එයින් ද කාන්තාවන් පනවා තිබෙන නීති රීති, සීමා මායිම් බොහෝය. සෞදි අරාබිය දශක ගණනාවකට පසු සිනමා ශාලා ආරම්භ කරන ලද්දේ මේ වසරේදීය. කාන්තාවනට රිය පැදවීමට අවසර දී හය මසක්වත් ගත වී නොමැත. එවැනි වාතාවරණයක් තුළ මේ කියන්නට යන්නේ ඡායාරූපශිල්පිනියක් ගැනය.

රොයිටර් පුවත් සේවය වෙනුවෙන් හජ් වන්දනාවේ යෙදෙන්නන් ඇතුළු හජ් සමයේ බොහෝ ඡායාරූප ගෙන ඇත්තේ ඇයයි. ඇල්ජීරියානු ජාතික කාන්තාවක වන ඇය රොයිටර් පුවත් සේවය වෙනුවෙන් මැදපෙරදිග, ආසියාව සහ උතුරු අප්‍රිකාව ආවරණය කරන්නීය.

“මානුෂීය සිදුවීම්, පුරවැසිකම වෙනුවෙන් ජනතාවගේ අරගලය, තමන්ව යටත් කරන්නන්ට එරෙහිව මානව හිමිකම් වෙනුවෙන් සටන් මිනිස්සු සම්බන්ධ ඇගයීම් මාව වඩාත් විස්මයටත් පුදුමයටත් පත් කරනවා. එවැනි දෑ ආවරණය කිරීම මට ජවයක් ගෙන දෙනවා” මේ කතාවේ කතා නායිකාව වන සොහ්රා බෙන්සෙම්රා සඳහන් කරන්නීය.

මේ වනවිට 50 වන වියේ පසුවන සෝරා බෙන්සිම්රා ඇල්ජීරියානු යුද්ධය, ලිබියානු යුද්ධය, ටියුනීසියාවේ අරගලය ආදී මැද පෙරදිග දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක මතක සටහන් තම කැමරා කාචවලට සටහන් කරගැනීමට සමත් වූවාය.

“මම ගැටුම්, මානුෂීය සිදුවීම්, කාන්තාවන් සහ දේශපාලනය සම්බන්ධ කතා මම ආවරණය කරනවා” බෙන්සෙම්රා කියන්නීය.

“මට වයස අවුරුදු හයේදී විතර මගේ එක් සහෝදරයෙක් ආධුනික ඡායාරූප ශිල්පියෙක්. ඔහු ඡායාරූප ගත්තා. මා ඔහු දෙස බලා සිටියා. ඔහු ගෙදරින් ගියාම මම ඔහුගේ කැමරාව අරගෙන ඔහු අනුකරණය කළා. මම එහෙම කළා කියලා දැනගත්තාම ඔහු මට කෑ ගැහුවා. එහෙත් ඔහු පසුව මගේ පාවිච්චියට පොඩි කැමරාවක් අරන් දුන්නා. මම ඒ කැමරාවෙන් පාසලේ මගේ මිතුරියන්ගේ ඡායාරූප ගත්තා. ඒත් සමඟම ඡායාරූප ශිල්පයට මගේ තියෙන ආදරයත් වැඩි වුණා.

මට මතකයි මගේ ජීවිතයේ පළමු වතාවට මම මළසිරුරු දැක්ක දවස. එය මගේ වෘත්තීය ජීවිතයේ පළමු අවස්ථාවයි. ඇල්ජීරියාවේ අගනුවර පොලිස් ස්ථානයක් ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරා ගිය. බෝම්බය පුපුරා ගියේ මම වැඩ කරපු පත්තර කන්තෝරුව ආසන්නයේ. මම එළියට ආවාම බිම වැටී සිටින කාන්තාවක් දැක්කා. ඇගේ සිරුර සම්පූර්ණයෙන් පිළිස්සිලා. ඇය දුටුවාම මම අඩන්න ගත්තා. මගේ ඇස්වලින් කඳුළු වැටෙද්දි මම ඡායාරූප ගත්තා. මම නැවත කන්තෝරුවට ගියාම සේයා පටල වැඩි දියුණු කරන්න බය හිතුනා. මම පොඩි ළමයෙක් වගේ ඇඬුවා. මම පොඩි ළමයෙක් වගේ අඬමින් පින්තූර තේරුවා. මම ඊළඟ දවසේ නැගිට්ටේ වෙනස්ම කෙනෙක් විදියට. මම ඕනෑම දේකට මුණ දෙන බව හිතාගත්තා. එදා ඉඳන් මම වෙනස් වුණා. මම හිතනවා මම අද ඡායාරූප ශිල්පියෙක් වෙලා කියලා.

ටියුනීසියාවේ පැවරුම මගේ ජීවිතයේ විශාල මතක සටහනක්. එම පාලකයාට එරෙහිව ටියුනීසියාවේ වැසියන් නැගි සිටීවි කියලා මම කිසිම විටෙක හිතුවේ නැහැ. එවැනි දැඩි පාලනයක් තිබෙන රටක විරෝධතා ඇති වේවි කියලා මම නිකමටවත් හිතුවේ නැහැ. මම ටියුනීසියාවට ගියේ 2011 ජනවාරි 14 වැනිදා. එදින ජනාධිපති සිනේ අල් අබයිදීන් බෙන් අලීට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් ටියුනීසියා වැසියෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක නිරත වී සිටියා. එතැනට රැස්ව සිටි විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව දැක්කාම මම පුදුමයට පත්වුණා. ඔවුන්ගේ පරිණතභාවය මා විස්මයට පත් කළා. ඔවුන් එතැනට රැස්ව සිටියේ රට වනසන්න නෙමෙයි. ඔවුන් එතැනට රැස්ව සිටියේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන ඔවුන්ගේ අයිතිය ඉල්ලමින්.

මම සාමාන්‍යයෙන් ඡායාරූපයට නගන්නේ අභ්‍යන්තර ගැටුම්, සමාජ, ආර්ථික හා මානුෂීය අර්බුදවලින් පීඩාවට පත්වුණු රටවල්. ඡායාරූපයක් ගත්තාම මම මුලින්ම සැලකිලිමත් වන්නේ මට දැනෙන දේ මම දකින දේ එයින් විස්තර වෙනවාද කියන දේ ගැනයි. මට අවශ්‍ය වන්නේ ගැටුම්වලට විසඳුම් දිය හැකි ගැටුම් බිමේ තත්ත්වය වඩාත් යහපත් අතට වර්ධනය කළ හැකි පාර්ශවවලට සහ බලය තිබෙන පාර්ශවලට ගැටුම් සම්බන්ධයෙන් යහපත් අවබෝධයක් හා තේරුම්ගැනීමක් ලබාදීම ප්‍රවර්ධනය කිරීමයි.

මානුෂීය සිදුවීම්, පුරවැසිකම වෙනුවෙන් ජනතාවගේ අරගලය, තමන්ව යටත් කරන්නන්ට එරෙහිව මානව හිමිකම් වෙනුවෙන් සටන් මිනිස්සු සම්බන්ධ ඇගයීම් මාව වඩාත් විස්මයටත් පුදුමයටත් පත් කරනවා. එවැනි දෑ ආවරණය කිරීම මට ජවයක් ගෙන දෙනවා. අපිට අභියෝග බාරගන්න බැරි නම් අප කරන දේවල්වලින් සාර්ථකත්වය ලබන්න බැහැ. වාර්තාකාරිණියක් වීමෙන් මා ඉගෙන ගත්තු ලොකුම පාඩම එයයි.

සොහ්රා බෙන්සෙම්රා 2017 වසරේදී බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්ෂිකව තෝරන ‘පුවත්පත් ආයතනවල ඡායාරූප ශිල්පියා/ශිල්පිනිය’ ලෙස ද තේරී පත්වූවාය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS