මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්



සෙනසුරාදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවැත්වෙන අවසන් දිනය වූ ඊයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු ඇතැයි තිබෙන බියත් අවදානමත් නිසා ආරක්ෂාව දැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබිණි.  

උග්‍ර සටනක් පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ සටන ඊයේ (13) අවසන් විය.

ජනාධිපතිවරණයේ ඉදිරි පෙළ තරගකරුවන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අතර වෙහෙසකර සටනේ අවසන් රැළි අද පස්වරුවේ පැවැත්වේ.

“ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු ඇතැයි වාර්තා තිබෙනවා” ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

“අමතර පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. අවදානම් සහිත ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යෙදෙව්වා. අවසන් රැළිවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා යන්ත්‍ර සහ පොලිස් නිල සුනඛයන් ද යොදවා තිබෙනවා” යැයි ඔහු කීවේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දිනය මුළුල්ලේ ප්‍රචාරණ රැළිවලට සහභාගී වූ අතර කොළඹදී සිය අවසන් රැළියට සහභාගී වේ. ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවසන් රැළිය කොළඹින් පිටත පවත්වයි.

52 හැවිරිදි වියේ පසුවන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාය. ජනාධිපති රණසිංහ මහතා 1993 වසරේ මැයි මස 1 වැනිදා ඝාතනයට ලක්විය. ඔහු සහභාගී වී සිටි මැයි දින රැළියකට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයකින් ඔහු එලෙස ඝාතනයට ලක්විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයාය. 2006 වසරේදී එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා නූලෙන් ජීවිතය බේරාගත්තේය. එම ප්‍රහාරයට දෙමළ කොටින්ට චෝදනා එල්ල වූ අතර ඔවුන් 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ අතින් පරාජයට පත්විය.

වාර්ගික උණුසුම සහ කලබල පහළ ගියත් පසුගිය අප්‍රේල් 21 වැනිදා යෙදී තිබුණු පාස්කු ඉරිදාවේ එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් රට දැඩි කම්පනයකට පත්විය. එම ප්‍රහාර මාලාවෙන් 269 දෙනකුට ජීවිත අහිමි විය. ප්‍රහාර එල්ල කරන ලද්දේ රට තුළ නිර්මාණය වූ ජිහාද් සංවිධානයක් යැයි චෝදනා එල්ල විය.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී එවැනි ආකාරයක ප්‍රහාර කිසිවක් පිළිබඳ තොරතුරු වාර්තා නොවුණු අතර ඉස්ලාමීය අන්තවාදීන්ට චෝදනා එල්ල වන ආකාරයේ සිදුවීම් ද වාර්තා නොවුණි. එහෙත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ සාමාජිකයන් මුල් වූ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් හා සිදුවීම් 30කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. 

මෙවර ජනාධිපතිවරණය 2015 වසරට වඩා සාමකාමී යැයි ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සඳහන් කළේය. අවසන් වරට පැවැති එම ජනාධිපතිවරණයේදී බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදුවිය.
“මැතිවරණවලට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා 31 දෙනකු රෝහල් ගත වී ඇතැයි අපට වාර්තා වුණා. එසේ වුවත් පසුගිය වර ජනාධිපතිවරණයට වඩා මෙවර තත්ත්වය හොඳ” යැයි පැෆරල් සංවිධානයේ ප්‍රධානී රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවල වෛරී ප්‍රකාශ, දුස් තොරතුරු සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරන තැතිගැන්වීම් හා බිය ගැන්වීම් වැඩි වී ඇතැයි හෙතෙම පැවැසීය.

“සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික විරුද්ධවාදීන්ට තර්ජනය කරන ප්‍රවණතාවක් අප හඳුනාගෙන තිබෙනවා” යැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වී සිටින මිලියන 16කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි


RECOMMEND POSTS