මානව හිමිකම් කවුන්සිලය විවේචනයට



ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත නිකී හේලී මානව හිමිකම් කවුන්සිලය දැඩි ලෙස විවේචනයට ලක් කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කළේ පසුගිය අඟහරුවාදා (19).

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊශ්‍රායලයට එරෙහිව ගෙනෙන යෝජනා සම්බන්ධයෙන් පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි ද මානව හිමිකම් කඩ කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට අසමත් වී ඇතැයි ද නිකී හේලී චෝදනා කළාය.

මේ දෙදෙනා මානව හිමිකම් කවුන්සලයට මෙසේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණය නොකළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබිණි. මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් පසුගිය සති දෙකක කාලයේදී ඇමෙරිකා නියෝජිතයන් සහ මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වුණු බව ද එම සාකච්ඡා අසාර්ථක වූ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඒ අතරවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඇමෙරිකාව විවේචනය කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා ‘ඇමෙරිකා-මෙක්සිකෝ’ දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ආචාර ධර්මවලට පටහැනි  බවත් සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගත නොහැකි බවත් සඳහන් කරමින් මහ කොමසාරිස්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ට්‍රම්ප් පරිපාලනයට දොස් නැගීය. ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව නිවේදනය කළේ ඉන් දිනකට පසුය.

“මානව හිමිකම් කඩකරන්නන් දිගින් දිගටම මානව හිමිකම් කඩ කරනවා. එහෙත් එම රටවල් නැවත නැවතත් කවුන්සිලයට තේරී පත්වෙනවා. ලොව අති අමානුෂීය රෙජීමයන් මානව හිමිකම් කඩකරමින් දඬුවම් නොලබමින් නිදහසේ සිටිනවා. කවුන්සිලය දේශපාලනීකරණය වෙලා. මානව හිමිකම් ආරක්ෂා කරන රටවල් නොසලකා හැරීමට ලක්වෙලා. දීර්ඝ කාලයක් මුළුල්ලේ මානව හිමිකම් ආරක්ෂා කළ මානව හිමිකම් කවුන්සිලය අද වනවිට දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී අසූචි වළක් බවට පත්වෙලා. මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් කඩකරන්නන්ගේ ආරක්ෂකයා බවට පත්වෙලා” යැයි නිකී හේලී චෝදනා කළාය.

මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 47කින් සමන්විතය. එම සාමාජික රටවල් 47 මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිඥාදී තිබෙන අතර එම රටවලින් පත් කර සිටින නියෝජිතයෝ එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ඇතුළු එහි නිලධාරිහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් මානව හිමිකම් ආරක්ෂා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලති.

මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින විවාදවලදී, සාකච්ඡාවලදී සහ මානව හිමිකම් කවුන්සිල සාමාජිකත්වය ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බලවත් යැයි කියන රටවල වැඩි අවස්ථාවක් ලබාදෙයි. එහෙත් නිකී හේලි මෙහිදි සාමාජික රටවල් කිහිපයකට ද චෝදනා කළාය. ඇතැම් රටවල් තම සාමාජිකත්වය දඬුවම් නොලබා සිටීම යොදා ගන්නා බව ඇය අවධාරණය කළාය.
“කවුන්සිලයේ සාමාජිකත්වය දෙස බලන්න. ඇතැම් සාමාජික රටවල් මූලික අයිතිවාසිකම්වලටවත් ගරු කරන්නේ නැහැ” යැයි වෙනිසියුලාව, චීනය, කියුබාව සහ කොන්ගෝ ජනරජය ගැන සඳහන් කරමින් නිකී හේලී චෝදනා කළාය. එහෙත් බෙහෝ මානව හිමිකම් සංවිධානවල චෝදනාවට ලක්ව සිටින සෞදි අරාබිය සම්බන්ධයෙන් නිකී හේලී කිසිවක් සඳහන් නොකළාය. සෞදි අරාබිය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ ප්‍රධානතම මිතුරාය.

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් හුසේන් තම කනගාටුව පළ කර තිබිණි.

“ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආකෘතිය ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වනවා” යැයි මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ඇමෙරිකාවේ මෙම ඉවත්වීම සම්බන්ධයෙන් චීනය, බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය කනගාටුව පළ කර තිබිණි. මේ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉවත්වීමෙන් හිස්වන සාමාජිකත්වය වෙනුවෙන් අලුත් රටක් පත් කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් අවධානය යොමු කර තිබුණු බව ද වාර්තා විය.

“මානව හිමිකම් කවුන්සිලය දේශපාලනීයකරණයවී ඇතැයි පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය මුළු ලෝකයටම බැණ වැදීමට උත්සාහ කරනවා. එය නින්දාශීලි පියවරක්. ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාරය ඉතා පැහැදිලිය. මේ අවස්ථාවේදී ඇමෙරිකා එක්සත් ජනපදය තනිවෙලා” යැයි ඇමෙරිකාවේ ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින රුසියානු දූත පිරිස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

“උතුරු කොරියාව, සිරියාව, මියන්මාරය සහ දකුණු සුඩානය වැනි රටවල සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විශේෂ සහ වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ට්‍රම්ප් ජනාධිපතිවරයා කරන්නට හදන්නේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමක් පමණක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කෙන් රොත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් සහ සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS