මහාචාර්යවරයාගේ අනතුරු ඇඟවීම



චීනයෙන් ආරම්භ වී, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසා පැතිරුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අද අප කාගේත් පොදු සතුරා බවට පත් වී අවසන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ මොහොතේ, වයිරසයේ අපිකේන්ද්‍රය යුරෝපායයි. ඉතාලිය, ස්පාඤ්ඤය, ප‍්‍රංශය පමණක් නොව මහා බි‍්‍රතාන්‍යය ද වයිරසය ව්‍යාප්තවීම වලක්වමින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, එම රටවල් වසා දැමීමට එසේත් නැතිනම් ‘ලොක් ඩවුන්’ කිරීමට පියවර ගෙන ඇත.

‘අත්‍යවශ්‍ය රාජකාරියකට හැර නිවෙස්වලින් පිටවෙන්න එපා. හැකි තරම් පුද්ගලයන් හමුවීම අවම කරන්න. පවුලේ සාමාජිකයන් අතරේ පවා අඩි කීපයක දුරක් තබා ගන්න. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් නිරෝධායනය වී නිවසේ රැුඳී සිටින්න. අසාධ්‍ය තත්ත්වයක දී පමණක්, වෛද්‍ය ආධාර ඉල්ලන්න. වැඩිහිටියන් සැමවිටම පරිස්සම් විය යුතුයි. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ හමුදාව ලබා දෙන නියෝග පිළිපඳින්න. බඩු භාණ්ඩ මිලදී ගන්නවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිලදී ගන්නවත් නිවෙස්වලින් එළියට යන්න එපා’ යැයි මහා බි‍්‍රතාන්‍යය ‘ලොක් ඩවුන්’ කරන බව නිවේදනය කරමින්, අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය ඇමැතුවේ පසුගිය 17 වැනිදා රාති‍්‍රයේය.

රටක් සම්පූර්ණයෙන් වසා දැමීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. එමගින් සිදුවන සමාජීය මෙන්ම ආර්ථික බලපෑම වචනයෙන් විස්තර කළ නොහැකිය. එසේ වුවත් අග‍්‍රාමාත්‍ය ජොන්සන් ප‍්‍රමුඛ රජය, මහා බි‍්‍රතාන්‍යය වසා දැමීමට තීරණය කළේ, එක් කෙනකු කළ අනතුරු ඇඟවීමක් නිසාය. මේ එක් කෙනා මහාචාර්ය නීල් ෆර්ගියුසන් ය. මහාචාර්ය නීල් ෆර්ගියුසන් යනු බි‍්‍රතාන්‍යයේ ‘ඉම්පීරියල් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ වයිරස සම්බන්ධ විශේෂඥවරයාය. මහා බි‍්‍රතාන්‍යයේ වයිරස සම්බන්ධ අංක එකේ විශේෂඥයා ද මොහුය.

‘කෝවිඞ් 19’ බි‍්‍රතාන්‍යය ආක‍්‍රමණය කළ අවස්ථාවේ, එයින් සිදුවන බලපෑම සහ ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න විමසා බැලීමට අගමැති ජොන්සන් විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවීය. ඒ, බි‍්‍රතාන්‍ය ‘ඉම්පීරියල් කොලේජ්’ විශ්ව විද්‍යාලය සම්බන්ධ කර ගනිමිනි.

‘ඉම්පීරියල් කොලේජ්’ යනු ලන්ඩන් විශ්ව විද්‍යාලයකි. ජනතාවට වැදගත් සියලූ වෛද්‍ය පර්යේෂණ, විමර්ශන ආදිය සිදු කරන්නේ මෙම විද්‍යාලය හරහා ය. මෙම කාර්ය සාධක බළකායට වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් සම්බන්ධ වී සිටින අතර, ඔවුන් අතරින් ප‍්‍රධානියා මහාචාර්ය නීල් ෆර්ගියුසන් ය.

මහාචාර්ය ෆර්ගියුසන්, බි‍්‍රතාන්‍ය රජයට වයිරසයේ බිහිසුණුකම පැහැදිලි කර දුන්නේය. එපමණක් නොව ලැබෙන දත්ත පාදක කර ගනිමින් බිහිසුණු අනාවැකි පළ කළේය. සියලූ කටයුතු නවත්වා වයිරසය ව්‍යාප්තවීම වැලැක්වීම නොකළොත්, බි‍්‍රතාන්‍යයේ 2,60,000 ක පිරිසක් මිය යනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. අග‍්‍රාමාත්‍ය ජොන්සන් ප‍්‍රමුඛ රජය, මහා බි‍්‍රතාන්‍යය ‘ලොක් ඩවුන්’ කළේ ඒ අනුවය. ඒ මොහොත වනවිට බි‍්‍රතාන්‍ය වැසියන් 71 ක් වයිරසයට බිලි වී සිටි අතර, වයිරස ආසාදිතයන් ගණන 1,950 දක්වා ඉහළ ගොස් තිබුණි.

අගමැති ජොන්සන් පසුගිය 17 වැනිදා මාධ්‍යවේදීන් රැුස් කර ගනිමින් ජාතිය අමතද්දී, වයිරසය පිටුදැකීමේ අරමුණින් පිහිටුවූ කාර්ය සාධක බළකායේ ප‍්‍රධානීන් පැමිණ සිටිය ද 50 හැවිරිදි මහාචාර්ය නීල් ෆර්ගියුසන් එහි නොසිටියේය. ඒ, ඔහු ඒ වනවිටත් දින 14 ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු වීමට තීරණය කිරීමය. මහාචාර්යවරයාට වියලි කැස්සක් සෑදී තිබුණි. පසුගිය සති කිහිපයේ බි‍්‍රතාන්‍ය රජයේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැය 24 පුරා වෙහෙසමින් ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් දැනුම බෙදා දුන් ෆර්ගියුසන්, නිරෝධායනයට යෙමු වූයේ තමන්ට ද වයිරසය ආසාදනය වී ඇතැයි අනුමාන කරමිනි.

මහාචාර්ය ෆර්ගියුසන් ඇතුළු කාර්ය සාධක බළකායට සම්බන්ධ සෙසු විද්‍යාඥයන් තවත් බිහිසුණු අනාවැකියක් පළ කර තිබේ. එය ද සුළුකොට තැකිය නොහැකිය. මේ මොහොත වෙද්දී, චීනයේ වයිරස බිය තුරන් වී යන බවක් පෙනෙයි. ආසාදිතයන් සහ මරණ අඩු වී ඇත.

පසුගිය 19 වැනිදා කිසිදු ආසාදිතයකු හමු නොවුණු බව ද පැවැසිණි. ඒ අනුව, දැන් ලොව වඩාත් ආරක්ෂිතම රට චීනයයි. එහෙත්, චීනයෙන් පිට පැතිර යන වයිරසය යළි චීනය ආක‍්‍රමණය කිරීමේ අවදානමක් ඇත. වයිරසයේ ස්වභාවය අනුව දෙවැනිවර වයිරස ආක‍්‍රමණයක් චීනයට එල්ල වුවහොත් එහි පල විපාක ඉතා දරුණු විය හැකි යැයි මහාචාර්ය නීල් ෆර්ගියුසන් ඇතුළු කණ්ඩායම පෙන්වා දී ඇත.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS