මල්පොකුරු සමඟ අත්සෝදන



කොරෝනා වයිරසයෙන් බැටකන චීනයෙන් මේ දිනවල වාර්තාවන පුවත් හද කම්පා කරයි. ඇතැම් ඒවා ලොව බොහෝ දෙනාගේ ඇසට කඳුළක් ගෙනේ.

ඇතැම් පුවත් මනුෂ්‍යත්වයේ සුවඳ ලොව පුරා ගෙන යන්නේ කොරෝනා වයිරසය පැතිර යනවාටත් වඩා වේගයෙනි.

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය අදට යෙදී තිබේ. වැලන්ටයින් දිනයේ පෙම්වතුන් අතර මල් හුවමාරු වීම නම් අරුමයක් නොවේ.

කෝවිඞ්-19 ලෙස නම් කළ නව කොරෝනා වයිරසයෙන් බැට කන චීනයට මොන වැලන්ටයින් ද යමකු අසන්නට ද බැරි නැත.

එහෙත් වැලන්ටයින් දිනය උදාවීමට ඔන්න මෙන්න තිබියදී බීජිං නුවරට ආදරය ගෙනා තැනැත්තියක සම්බන්ධ පුවතක් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

ඇය ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් අලෙවි කරන මල්පොකුරු සමඟ අත්සෝදන සනීපාරක්ෂක දියර සහිත බෝතලයක් ලබාදීමට පටන්ගෙන ඇත. බීජිං නුවර මල් වෙළෙන්ඳියක වන ඇය නමින් චයි ෂියෝමන්ය.

ඇය මල්පොකුරු සමඟ විශේෂ තෑග්ගක් ලෙස සනීපාරක්ෂක දියර සහිත බෝතල් දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් මල් මිලදී ගත තරුණියක කළ යෝජනාවකට අනුවය.

ඇය මේ ආදරණීය කර්තව්‍යයේ නිරත වූව ද පසුගිය මාස දෙක නම් ඇයට සරු නොවීය. මල් අලෙවිය සියයට 90කින් කඩා වැටුණු බව ද ඇය සඳහන් කළාය.

මුඛ ආවරණ පැළැඳීම මේ දිනවල චීනයේ අනිවාර්ය දෙයකි. එය රජයේ නියෝගයකි.
ඇය මල් අලෙවි කරන්නේ ද මුඛ ආවරණයක් පැළැඳගෙනය. ඇය පරෙස්සම් සහිතව තම දෑත් පිරිසුදු කරන අතර ඉන් අනතුරුව දෑත් ආවරණ පැළැඳ මල් ඇසුරුම් කරන්නීය. ඉන් අනතුරුව ඇය සකසන මල් පොකුරට සනීපාරක්ෂක දියර සහිත කුඩා බෝතලයක් ද දමන්නීය.

“මේක හරි හද සනසන වැඩක්. මගේ පාරිභෝගිකයන් සුවෙන් සනීපයෙන් ඉන්න ඕනෑ” ඇය රොයිටර්ස් පුවත් සේවයට සඳහන් කළාය. “මොකද වයිරසය දැන් දරුණු වෙලා. හැමෝම බයවෙලා. මම හිතනවා මේක ඉක්මනට ඉවර වේවි කියලා” ඇය තවදුරටත් කීවාය.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප රොයිටර්ස්

RECOMMEND POSTS