භූතානයේ භූතයා



භූතානයේ ජනගහනය ලක්ෂ හතකි. වැඩි දෙනා ජීවත් වෙන්නේ සාරවත් නිම්නවල පුංචි පුංචි ගොවිපොළ ගම්මාන සහ නගරවලය. නවීන තාක්ෂණයෙන් පිරුණු අහස සූරන මැදුරුවලින් සමන්විත නගර භූතානයේ දකින්න ලැබෙන්නේ නැත.

භූතාන ජන ජීවිතය සරලය. භූමියෙන් සියයට 70 ක් වැසී ඇත්තේ, තෙත බරිත මීදුමින් පිරුණු ඝන වනාන්තර සහ කඳු වැටිවලිනි. මිථ්‍යා විශ්වාස සහ පුරාණ කතා විශ්වාස කරන භූතාන වැසියන් පවසන්නේ, මේ අඳුරු වනාන්තරවල ‘භූතයකු’ ජීවත්වන බවය. මේ සත්වයා ‘භූතයකු’ ලෙස හඳුන්වන්නේ, ඌ මෙතෙක් ඇසින් දැක ඇත්තේ යැයි පවසන අය ඉතාමත් අල්ප වන නිසාය. ‘මේ අද්භූත සත්වයා දෙපයින් ඇවිද යන බවත්, ඌ ලෝමවලින් පිරුණු දේහයක් ඇති, යෝධ වානරයකුට සමාන බවත් එසේ දුටු අය පවසති. භූතාන වැසියන් මේ සතා හඳුන්වන්නේ ‘මිගෝයි’ කියාය. එහි අර්ථය ‘කැළෑ මිනිසා’ යන්නය. භූතාන වැසියන් ඌට ‘මිගෝයි’ කීවාට මුළු ලෝකයම මේ සත්වයා හඳුන්වන්නේ වෙනත් නමකිනි. ඒ, ‘හිමාලයේ හිම මිනිසා යෙටී’ කියලයි. මිගෝයි අබිරහසේ සුලමුල සොයමින් ගවේෂණ කණ්ඩායමක් භූතානයට ගියහ. මේ ඔවුන්ගේ වීර වික‍්‍රමයයි.

”අපේ කණ්ඩායමේ ඉන්නවා ඔක්ස්ෆර්ඞ් සරසවියේ පුහුණුව ලැබූ පරිණාමවාදය පිළිබඳ ජෛව විද්‍යාඥයෙක්. බටහිර අපි‍්‍රකාවේ මහ වානරයන් ගැන අවුරුදු ගණනාවක් තිස්සේ හැදෑරූ පි‍්‍රමාටේස් විද්‍යාඥයෙක් සහ බි‍්‍රතාන්‍ය ජාතික තාක්ෂණවේදියෙක්. නවීන තාක්ෂණය ඔහු සතුයි. යන්ත‍්‍ර සූත‍්‍ර ඒ කියන්නේ අපේ වීඩියෝ කැමරා, මයික්‍රෝෆෝන, පා සලකුණු අච්චු ලබා ගැනීමට ප්ලාස්ටර් ඔෆ් පැරිස්, ලොම් සාම්පල සහ අසූචි සාම්පල එක් රැුස් කර ගැනීමට අවශ්‍ය උපකරණ ආදිය රැුගෙන ගියේ ඔහුයි.” මෙසේ කියන්නේ ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන් ගවේෂක රිචඞ් කොනිෆ් සහ ඡුායාරූප ශිල්පී හැරී මාෂල්ය.

”අපේ මඟ පෙන්වන්නා දාෂෝ පල්ඩෙන් දොර්ජී උස දේහයක් ඇති 37 හැවිරිදි අයෙක්. ඔහු ඇමෙරිකාවේ සැන්ටා බාබරා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙක්. ඒ නිසා ඔහුට ඇමෙරිකානුවකුට වගේ හොඳින් ඉංගී‍්‍රසි පුළුවන්. ඔහු භූතානයේ රජතුමන්ගේ දුර ඥාතියකු වීමත් අපේ ගවේෂණයට ලොකු ශක්තියක් වෙනවා. ඔහු මිගෝයි ගැන සැබැවින්ම විශ්වාස කරන කෙනෙක්.” යැයි කොනිෆ් කණ්ඩායමේ මඟ පෙන්වන්නා ගැන හැඳින්වීමක් කළේ එසේය.

”දාෂෝ පල්ඩෙන් දොර්ජී අපව කැටුව ගියා දෝර්ජි සෙහරිං නම් අයෙකු හමුවීමට. දෝර්ජි සෙහරිං, වයස අවුරුදු 80 ක මහල්ලෙක්. අවුරුදු 50 කට කලින් ඔහු මිගෝයි සමඟ මුහුණට මුහුණ හමුවුණා. එදා සිදුවූ දේ මතක් කරද්දී දෝර්ජි සෙහරිංගේ ඇගේ තවමත් හිරිගඬු පිපෙනවා. ඒ බව ඔහු අපට පෙන්නුවා.” යැයි කොනිෆ් කීවේය.

”දෝර්ජි සෙහරිං, තරුණ කාලේ තවත් යාළුවකුත් එක්ක, නිවස පිටුපස ඇති ඝන වනාන්තරයට ගියා දර එකතු කරන්න. ඔවුන් කඳු ගැටයක් පහු කළා. ඒ කඳු ගැටය නම් කරලා තිබෙන්නේ ‘මිගෝයි ෂිටෙසා’ කන්ද කියලයි. ඔවුන් කන්ද නැග්ගා දර සොයන්නට. නොදැනීම ? බෝ වුණා. ආපසු යන්න බෑ ඒ නිසා කන්දේ පිහිටි ගල් ලෙනකට මේ දෙන්නා ගියා, රාති‍්‍රය ගත කරන්න හිතාගෙන. මේ ලෙන හැඳින්වෙන්නේ ‘මංකොල්ලකරුවන්ගේ ලෙන’ යනුවෙනුයි. එදා ? ඔවුන් ඒ ලෙනේ නවතින්න තීරණය කළා. ගිනි මැලයක් දැල්වූවා. ඒ වෙලාවේ තමයි ඔවුන් දැක්කේ ගුහාව අසල හිමෙන් වැහුණු බිම පා සලකුණු තිබෙන බව. ඒවා දෙපයින් ඇවිද ගිය මනුස්සයකුගේ පා සලකුණු. හැබැයි සාමාන්‍ය මනුෂ්‍යයකුගේ මෙන් නොවේ තෙගුණයක් විශාලයි. ඒවා වලසකුගේ අඩි සලකුණු නොවේ. ඒ මොහොතේම අඳුරු වනාන්තරයෙන් ඇහුණා ඇඟ කිළිපොලා යන ගෙරවිල්ලක්. තරුණයෝ දෙන්නා හොඳටම බය වුණා. අඳුරෙන් දැවැන්ත රූපයක් ඔවුන් අසලට ආවා. මිගෝයි! මිගෝයි!! දෝර්ජි සෙහරිංගේ යහළුවා කෑ ගැහුවා.” යැයි කොනිෆ් දෝර්ජි සෙහරිංගේ කතාව තවදුරටත් කියා ගෙන ගියේය.

”දෝර්ජි සෙහරිං එදා අඳුරේ දුටු සත්වයාගේ හඬ මොන වගේදැයි අපට අනුකරණය කරලා පෙන්නුවා. ‘එදා මා දැක්කේ මිගෝයි’ ඔහු සිද්ධිය පැහැදිලි කළා. ‘හිතුවේ ඌ ආවේ අපව ගිල දාන්න කියලයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

”කියන්න! ඔබ ඇත්තටම මොන වගේ දෙයක්ද දැක්කේ ?” මම දෝර්ජි සෙහරිංගෙන් ඇසුවෙමි.  

”අඳුරෙන් මතුවුණේ දැවැන්ත මිනිස් සිරුරක්. දෙපයින් ඇවිද ගිය දැවැන්තයෙක්! සිරුර අඳුරු පැහැති ලොම්වලින් පිරිලා! ඌ අපව බය කරලා අඳුරේම නොපෙනී ගියා. එදා ? අපට නින්දක් ගියේ නැහැ.” දෝර්ජි සෙහරිං ඒ අවස්ථාව ගැන විස්තර කළේය.

”මිගෝයි ගැන කියැවෙන කතාන්දර බොහොමයක් දෝර්ජි සෙහරිංගේ කියන මේ කතාව වගේමයි. මිගෝයි කියන්නේ අඳුරෙන් මතු වූ ලෝම සිරුරක් ඇති දැවැන්ත සත්වයෙක්. බොහෝ දෙනා කීවේ එහෙමයි. ඒත් මිගෝයිගේ ඇත්ත නැත්ත සෙවීම අපේ මේ ගමනේ අරමුණයි” යනුවෙන් ඒ ගවේෂණ කණ්ඩායම ඔවුන්ගේ අරමුණ පැහැදිලි කරමින් කීහ.

”එහි ඇති ප‍්‍රවාදවලට අනුව, වසර 200 කට කලින් භූතාන තාපසයෙක්, මිගෝයි සොයා දඩයමේ ගිහින් තියෙනවා. එහිදී ඔහුට මිගෝයි හමුවුණා. ඔහු අසිපත ඔසවා ඌට පහර දුන්නා. මිගෝයි දෙපළු කළා. වසර 200 ක් පැරණි එම මළ සිරුර භූතානයේ පිටිසරබදව පිහිටා ඇති ‘ගැන්ටි ගොම්පා’ නමැති ආරාමයේ තිබෙනවා. දාෂෝ පල්ඩෙන්, අපව එහි අරන් ගියා. මීට පෙර කිසිම බටහිර ජාතිකයකු මේ ආරාමයට පය තබා තිබුණේ නැහැ. ආශ‍්‍රමාධිපති අපව එක්ක ගෙන ගියා තවමත් හොඳින් සුරැුකිව තිබෙන එම මිගෝයි මළ සිරුර පෙන්වන්න. අල්තාරය අසල බිත්තියේ එල්ලා තිබුණු ඒ සිරුර අප දුටුවා.” යයි ගවේෂණ කණ්ඩායම කීහ.
 
”ඒ සිරුරේ හිස පුංචි ළමයකුගේ තරම් ඇති. හිස පහළට එල්ලා වැටී තිබුණා. ඇස් තද වෙන්න වැසිලා. අත් පා දිගුයි. වසර ගණනක් ගතවී තිබෙන නිසා සම අස්ථිවලට කා වැදිලා. මුහුණ වේදනාවෙන් පිරිලා. කට වේදනාවෙන් ඇඹරිලා. මරණාසන්න මොහොතේදී ලොකු වේදනාවක් දැනෙන්න ඇති කියලා මට හිතුණා. අප හැමෝම ඒකමතිකව තීරණය කළා ‘ගැන්ටි ගොම්පා’ ආරාමයේ තිබෙන මේ මළ සිරුර මනුෂ්‍යයකුගේ නම් නොවේ කියලා. ඒ වුනත් මිගෝයි සොයා ගවේෂණය කරන අප සොයන සාක්ෂිය මේක නොවේ.” කොනිෆ් කීය.

”මීළඟ දින කිහිපයේ අප ඒ අඳුරු මූසල කඳුකරය පීරමින් පරීක්ෂා කළා. තෙත බරිත වනාන්තරයේ සෑම වන මංකඩක්ම පරීක්ෂා කළා. කොතරම් හෙව්වත් මිගෝයි ගැන කිසිදු සාක්ෂියක් හමුවුණේ නැහැ. රාතී‍්‍ර කාලයේදී කැළයේ නොයෙක් නොයෙක් තැන්වල කැමරා සවි කර තිබුණා. කෑම දමා උගුල් අටවා තිබුණා. උදේට අපි ඒවා පරීක්ෂා කළා. ඒවායේ සටහන් වී තිබුණේ ලේනකු සහ යැක් ගවයකු පමණයි.”

”ඔය අතරේදී තමයි අපට 37 හැවිරිදි සොනම් දෙන්ඩුප් නමැත්තා හමුවුණේ. ඔහුගේ කළු හිසකෙස් අතරින් සුදු කෙස් ගස් කීපයක් වැඩෙන්න පටන් අරන් තිබුණා. ඔහුගේ පාද කෙටියි. ශක්තිමත්. ඔහු අපට කීවා පසුගිය අවුරුදු 12 තිස්සේ ඔහු භූතන රජයේ ‘මිගෝයි සොයන්නා’ ලෙස කටයුතු කළ අයුරු ගැන. තවමත් ඔහුට මුහුණට මුහුණ මිගෝයි හමුවෙලා නැහැ. ඒත් ඔහු කීවා මිගෝයි පැමිණෙන උණ බටවලින් පිරුණු ස්ථානයක් ගැන. සෑම ගිම්හානයකටම මේ උණ බටවලින් ගහන වනයට මිගෝයි එනවා උණ දළු කන්න. සොනම් දෙන්ඩුප් අපට කීවා. ඒක අපට ලැබුණු හොඳ හෝඩුවාවක්. අපි එහි ගියා.”

”මීටර් 3,500 ක් උසින් කඳුගැටි අතරින් සහ මීදුම මැදින් අපේ කණ්ඩායම දෙන්ඩුප් සමග ඉදිරියට ඇදෙන්න වුණා. ගමන දිගටම පොද වැස්සක් ඇද හැළුණා. අප ඉදිරියට ආවා දැවැන්ත ව්‍යාඝ‍්‍රයෙක්. අපට උගෙන් බාධාවක් වුණේ නැහැ. මීදුම ටිකෙන් ටික ඝන වෙන්න පටන් ගත්තා. ඒ වන විට අපි උණ බට වනාන්තරයට ඇතුළු වෙලයි හිටියේ. දෙන්ඩුප්, වනාන්තරය මැද්දේ තිබූ විශාල ගස් බෙනයක් ඇති ගසක් සොයන්න වුණා. අන්තිමේදී යෝධ ගස ඔහුට හමුවුණා. එහි ඇති බෙනයේ මනුෂ්‍යයකුට හෝ දැවැන්ත සත්වයකුට හෝ වැස්සෙන් ආරක්ෂා වෙලා සැඟවෙන්න පුළුවන්. ඔහු ගස් බෙනය හොඳින් පරීක්ෂා කළා. එහි දැවැටී තිබුණා දිගු ලොම්. ඒවා මුවකුගේ හෝ වලසකුගේ හෝ නොවන බව දෙන්ඩුප් කීවා. අපි ඒ ලොම් සාම්පල ජෝගුවකට දමා ගත්තා. ඞී.එන්.ඒ. පරීක්ෂණයක් කරන්න.”

”ලොම් සාම්පලය අපට උපකාරී වේවි, භූතානයේ භූතයා යැයි කියන මේ සත්වයා ඇත්තටම මොකෙක්ද කියලා සොයා ගන්න. ඒ වන විට හිරු නැග එමින් තිබුණා. මීදුම පහවී යන්න වුණා සෙමින් සෙමින්. අප ඉන්නේ කොහේදැයි මට දකින්න පුළුවන් වුණා. මා සිටියේ මහා වනාන්තරයක් මැදයි. කඳු ගැටවලින් වටවුණු තැනක්. හරිම සුන්දරයි. හරිම ගුප්ත බවක් දැනෙන්න වුණා. කැළෑ මිනිසකු මේ වගේ වනාන්තරයක ජීවත් වෙනවා නම් ඒක පුදුම වෙන්න දෙයක් නොවේ. මිහිමත ඇති ඉතා සුන්දර ස්ථානයකයි දැන් මා ඉන්නේ. මට එහෙම හිතුණා. මිනිස් පහස නොලැබුණු මේ මහා වනාන්තර ප‍්‍රදේශයේ සිටිනවා යැයි කියන මිගෝයි හැබෑවක් කියලා මට සිතුණා.” යැයි රිචඞ් කොනිෆ් ඔහුගේ සටහන අවසන් කළේ එසේ ය.

ගවේෂණය අවසන් වී මාස කිහිපයකට පසු, එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බ‍්‍රයන් ස්කයිස් පරීක්ෂා කළා රිචඞ් කොනිෆ් සහ ගවේෂණ කණ්ඩායම ගෙනා ලොම් සාම්පලය. මහාචාර්ය ස්කයිස්, ප‍්‍රවේණි විද්‍යාව (ජාන විද්‍යාව) පිළිබඳ හසල දැනුමක් ඇති විද්‍යාඥයෙක්. මුලදී ඔහු අනුමාන කළා ඒවා වලසකුගේ හෝ වල් උරකුගේ හෝ ලොම් කියලා. ඒත් ඞී.එන්.ඒ. පරීක්ෂණයෙන් ඔහු පුදුම වුණා. තවත් පරීක්ෂණ කීපයකට ඒ ලොම් යොමු කළා. ඒවා වලසකුගේ හෝ වල් උරකුගේ ලොම් නොවේ. ”මේ ලොම් සාම්පලයේ ඞී.එන්.ඒ. රටාව මිහිමත මෙතෙක් ජීවත් වන සතුන්ගේ ඞී.එන්.ඒ. රටාවට සමාන නැහැ. මෙවැනි ඞී.එන්.ඒ. රටාවක් ඇති සත්වයෙක් මීට පෙර අපට හමුවෙලා නැහැ. මිගෝයිගේ අබිරහස තව දුරටත් අබිරහසක් ම වුණා මිසක් විසඳුණේ නැහැ.” මහාචාර්ය බ‍්‍රයන් ස්කයිස් පැහැදිලි කළේය.

ඩිස්කවරි චැනල් සඟරාවේ
පළවූ ලිපියක් ඇසුරිනි


RECOMMEND POSTS