පැනමා තායිවාන සබඳතා අවසන්



චීනය සමඟ සබඳතා තර කර ගැනීමේ අරමුණින්, චීනයේ එදිරිවාදියකු වන තායිවානය සමඟ සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට පැනමා රාජ්‍යය තීරණය කර ඇත.

පැනමාව ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. තමන් ‘චීනය පමණයි’ යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කළ බවත්, චීනයේ ඉල්ලීම පරිදි තායිවානය සමඟ සබඳතා අත්හිටුවීමට තීරණය කළ බවත් පැනමා ජනාධිපති යුවාන් කාලෝස් පවසා ඇත.

පැනමා ජනපති කාලෝස් සහ තායිවාන ජනාධිපතිනී ත්සායි අතර මේවතතුරු සුහදත්වයක් ද පැවැතිණි. පසුගිය වසරේ තායිවාන ජනපතිය පැනමාවේ සංචාරයක නියැලුණාය. එහිදී පැනමා ජනපතිගෙන් ඇයට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

පැනමා රාජ්‍යය ගත් මෙම තීරණය ‘කනගාටුවට කරුණක්’ යැයි පෙන්වා දෙමින්, තායිවානය පැනමාවට දොස් පවරා ඇත. ඊට අමතරව චීනය තමන්ට එරෙහිව සිදු කරන එදිරිවාදිකම් සම්බන්ධයෙන් ද තායිවානය දොස් පවරා ඇත.

තායිවානය සමඟ වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වූ රටවල් රැසක් පසුගිය කාලයේ මේ අයුරින් එම සබඳතා අත්හැර දමා චීනයට ළං වූ බව වාර්තා විය. මේ වනවිට තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් 20 ක් පමණි.
තායිවානය දූපත් රාජ්‍යයකි. තායිවානය වෙනම රාජජ්‍යයක් ලෙස චීනය පිළිගන්නේ නැත. චීනය පිළිගන්නේ තායිවානය චීනයේ කොටසක් කියාය. චීනය සහ තායිවානය අතර නොහොඳ නෝක්කඩු පවතින්නේ මේ නිසාය.

තමන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට පැනමාව තීරණය කිරීමත් සමඟ පැනමාව සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගනුදෙනු රැසක් ආරම්භ කරන බව චීනය සතුටින් පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS