පාරා දියණියගේ සිරුරේ කොටස් හමුවෙලා



පාරාවෝ (පුරාණ මිසර රජවරු) දියණියකගේ බවට විශ්වාස කෙරෙන සොහොන් ගැබක් ඊජිප්තු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව ඊජිප්තු බලධාරීහු පවසති.

වසර 3,700ක් ඉපැරණි මෙම සොහොන් ගැබ හමුවී ඇත්තේ මෑතකදී සොයා ගන්නා ලද ඊජිප්තු පිරමිඩයක් අසලිනි. අතීතයේ ඊජිප්තුව හැඳින්වූයේ මිසරය නමිනි.

ඊජිප්තුවේ පුරාවස්තු අමාත්‍යංශය පවසන්නේ කයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටියේ ඇති මෙම සොහොන් ගැබ තුළ තිබී දැව මුවා පෙට්ටියක් ගොඩගත් බවය.

මෙම පෙට්ටිය මත පුරාණ මිසර රූපාක්‍ෂර කැටයම්කර තිබේ. මෙම දැව පෙට්ටිය තුළ තිබී මිනිස් අවයව තැන්පත් කළ භාජන හතරක් හමුවී ඇති අතර ඒවා ඇමනිකමාව් නම්වූ පාරාවෝ දියණියගේ සිරුරේ කොටස් බවට විශ්වාස කෙරේ.

ඇමනිකමාව් රජුගේ පිරමිඩය පිහිටා ඇත්තේ මෙම සොහොන් ගැබට මීටර 600ක් පමණ දුරිනි. පාරා කුමරියකගේ බවට විශ්වාස කෙරෙන මෙම සොහොන් ගැබ තුළ තිබී මානවාකාර හැඩයකින් යුත් ශෛලමය මිනීපෙට්ටියක අවශේෂ ද සොයාගෙන තිබේ.

(තිළිණි ද සිල්වා)
බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS