ප්‍රංශයෙන් හමුවුණු පළමු ආසාදිතයා



ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවීමට රටවල් රැසක් උත්සහ ගනී. වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

‘කොවිඞ් 19’ කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා බව තහවුරු වී ඇති අතර, එහි ජාන ව්‍යුහය ද හඳුනා ගැනීමට චීන විද්‍යාඥයෝ පමණක් නොව, වෙනත් රටවල විද්‍යාඥයෝ ද සමත් වී සිටිති. වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීමේදී, පළමු ආසාදිතයා (ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘පේෂන්ට් සීරෝ’ යනුවෙනි.) කවුරුන්දැයි දැන ගැනීම ඉතා වැදගත් ය. කෙසේ නමුත් තවමත් වූහාන් නුවර පළමු ආසාදිතයා කවුරුදැයි සොයා ගැනීමට හැකියාව ලැබී නැත. එසේ හැකියාව ලැබුණේ නම්, වයිරසයට ප්‍රතිකර්මයක් සොයා ගැනීම කඩිනම් වනු ඇත. පළමු රෝගියාගෙන් වයිරසය පැතිර යන්නේ එහි මුල් ස්වභාවය විකෘති වෙමිනි.

‘කොවිඞ් 19’ වසංගතයක් වූ සෙසු බටහිර රටවල් ද ඔවුන්ගේ පළමු ආසාදිතයා එසේත් නැතිනම් ‘පේෂන්ට් සීරෝ’ සොයා විමර්ශන පවත්වයි. එසේ කළ යුතුය. ‘කොවිඞ් 19’ වසංගතයක් වූ අයුරු අධ්‍යයනයට එය වැදගත් වෙයි. ‘කොවිඞ් 19’ වසංගතයෙන් බැට කන රටක් වන්නේ ප්‍රංශයයි. ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන්, එරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, ප්‍රංශය ලොක්ඩවුන් කර තිබේ. ප්‍රංශයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 1,70,700 කි. මරණ 25,000 පසු කර ඇත.

පසුගිය 5 වැනිදා වනතුරු ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් පැවැසුවේ, ප්‍රංශයෙන් පළමු කොරෝනා ආසාදිතයා (පේෂන්ට් සීරෝ) වාර්තා වූයේ පසුගිය ජනවාරි 24 වැනිදා බවය. මෙම ආසාදිතයා 48 හැවිරිදි පිරිමියකු බවත් ඔහු චිනයේ සිට ආ අයකු බවත් ඔහු හමුවූයේ ප්‍රංශයේ බෝදෝ වරාය නගරයෙන් බවත් පැවැසිණි. කෙසේ නමුත් පසුගිය 5 වැනිදා පැරිස් අගනුවර වෛද්‍ය පර්යේෂකයන් කළ නව අනාවරණයක් සමඟ ඒ සියල්ල වෙනස් විය. නව අබිරහස් ද කරළියට පැමිණියේය.

පැරිස් අගනුවර උතුරු දෙසින් පිහිටි ඇවිසියැන් සහ ජෝන් වර්දියේර් රෝහල්වල වෛද්‍යවරුන් මෙන්ම පැරිස් සෞඛ්‍ය බලධාරීහු ද ‘කොවිඞ් 19’ රෝගීන් සම්බන්ධයෙන් පසුබිම් වාර්තා සොයා බලද්දී, පසුගිය දෙසැම්බරයේ නියුමෝනියා (පෙනහළු ආසාදන) තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කළ රෝගීන් ගැන ද අවධානය යොමු කළහ. නියුමෝනියා රෝගීන් 24 දෙනකු රෝහල් ගත කර ඇත. එපමණක් නොව, ඔවුන් 24 දෙනා ම සති කීපයකින් සුවය ලබා පිටව ගොස් ඇත.
එම 24 දෙනාගෙන් ලබා ගත් සාම්පල යළි පරීක්ෂා කිරීම පැවැරුණේ වෛද්‍ය යෙස් කොහාන්ටය. වෛද්‍යවරයා සාම්පල යළි පරීක්ෂා කරද්දී පුදුමයෙන් පුදුමයට පත් විය. මුලින් ඔහු සිතුවේ කුමක් හෝ වැරැදීමක් සිදුවී ඇති බවය. කෙසේ  නමුත් වැරැදීමක් සිදුවී නැති බව තහවුරු විය. පරීක්ෂණ වාර්තා අනුව, රෝගීන් 24 දෙනාගෙන් එක් අයකුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ‘කොවිඞ් 19’ චීනයෙන් පැතිරීම ඇරැඹුණේ ද දෙසැම්බර දෙවැනි සතියේය.

නියුමෝනියාව හේතුවෙන් ප්‍රංශ රෝගියා රෝහල් ගත කර ඇත්තේ දෙසැම්බර් 27 වැනිදාය. චීන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඞ් 19’ ගැන ලොවට හෙළි කළේ ද ඊට සිවු දිනකට පසුවය.
ඒ අනුව, වයිරසය ව්‍යාප්තිය ඇරැඹෙද්දී ‘කොවිඞ් 19’ වයිරසය ප්‍රංශයට එසේත් නැතිනම් යුරෝපයට පැමිණ ඇති බව තහවුරු විය. සෞඛ්‍ය බලධාරීහු කණ්ඩායමක් වහා ප්‍රංශ ජාතිකයා හමුවීමට ගොස් ඔහුගේ විස්තර සොයා බැලූහ. ඔහු 43 හැවිරිදි ඇම්රෝව් හැමර් නමැත්තා ය. පදිංචිය බොබිනේ පළාතේය. විවාහකය. දරු දෙදෙනක් සිටිති. වියලි කැස්ස, ස්වසන අපහසුතා හේතුවෙන් ඇම්රෝව් රෝහල් ගත කෙරුණේ දෙසැම්බර් 27 වැනිදා ය. දින කිහිපයකට පසු සුවය ලැබූ ඔහු රෝහලෙන් පිට වී ගියේය. වෛද්‍ය යෙස් කොහාන් පවසන අන්දමට ඇම්රෝව් රෝගී වන්න ඇත්තේ දෙසැම්බර් 14 වැනිදා සිට 22 වැනිදා අතර දිනකය.

ඇමිරොව් මෑත කාලයේ විදේශගත වී නැත. ඔහුගේ බිරිඳ බිරිඳ චීන සම්භවයක් සහිත කාන්තාවකි. ඇය ද මෑත කාලයේ විදේශ ගමන් බිමන්වල යෙදී නැත. ඇය චාල්ස් දු ගෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල සුපිරි වෛළඳසැලේ සේවිකාවකි. විදේශිකයන් බොහෝ දෙනෙක් මෙම සුපිරි වෙළෙඳ සැලට පැමිණෙති. එසේ පැමිණි අයකුගෙන් බිරිඳ රෝගී වී, පසුව ඇමිරොව් රෝගී වන්න ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති. ඇමිරොව් ට පෙර බිරිඳ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පෙලුණු බව පැවැසෙයි. ඇමිරොව් රෝගී වීමෙන් පසු දරු දෙදෙනා ද සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පෙලුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවිණි. වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා නැති බව ද පැවැසෙයි.

රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS