නේපාලයේ අමුතු චාරිත්‍රය !



මාසික ආර්තවය නැත්නම් ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත.

ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙයි.

සමාජයේ මුල්බැස ගෙන ඇති එම චාරිත්‍රය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ "චෞපඩි" (chhaupadi) යන වචනයෙනි.එම පුරුද්ද කෙරෙහි නේපාල බලධාරීන්ගේ අවධානය යොමු වුණේ, ඔසප් වූ කාන්තාවන් දෙදෙනකු නිවසින් පිටත මඩුවක නිදා ගනිමින් සිටියදී මරණයට පත්වීමත් සමඟයි.

මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් 'අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්' යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා වාර්තා වෙයි.

හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරුනත් තමන් අපිරිසිදු හෙයින් එම කාන්තාවන්ට ගවයන් අතපත ගෑම තහනම්ය.එපමණක් නොව සිය නිවසේ ආහාර ගැනීමට හෝ වැසිකිළි පාවිච්චියට අවසර නොලබන ඔසප් වූ සහ ලඟදී දරුවන් වැදූ කාන්තාවන්ට සිය උවමනා සඳහා ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙයි.

එම කාන්තාවන් වඩාත් දැඩි හිරිහැරයට ගොදුරු වන්නේ ශීත කාලය උදාවත් සමග දැඩි සීතලේ සිටීමට සිදුවීමත් සමඟයි. එසේම ඔසප් වූ දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමට ද අවසර නොලැබෙයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS