නිවා දැමුණු නිව් ඩයමන්ඩ් ගින්න



කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් තිබූ ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාව, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ‘සංගමන්කන්ද’ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් ගිනිගැනීමකට ලක්වූයේ ඉකුත් 3 වැනිදාය.

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 1,700 ක් පමණ ගබඩා කර තිබීම හේතුවෙන්, ඉන්ධන කාන්දුවකට ඉඩ නොතබා ගින්න නිවාගැනීමේ දැඩි අභියෝගයක් විය.

එම අභියෝගය මෙන්ම, නෞකාවේ සිටි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය ගලවා ගැනීම ද භාරගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ය. ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේත් නාවික හමුදාවේත් සහාය ඔවුන්ට හිමිවිය.

ගින්න හටගත් අවස්ථාවේ, ඊට හසුව අතුරුදන් වූ අයකු හැර අන් සියලු දෙනා ගලවා ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ටග් යාත්‍රා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම් අයි 17, බෙල් 212, ආදී ගුවන් යානා, හෙලිකොප්ටර් යානා, ඉන්දීය වෙරළාරක්‍ෂක හා නාවික හමුදා නෞකා දෙකක්, ඉන්දීය වෙරළාරක්‍ෂක හමුදාවේ විශේෂ උපකරණ සහිත තවත් ගුවන් යානා ආදිය මෙම ගින්න නිවාදැමීමේ මෙහෙයුම්වල නිරතවූයේ දිවා රාත්‍රී නොතකමිනි.

නෞකාවේ එන්ජිම ගින්නෙන් ක්‍රියා විරහිත වූ අතර, නෞකාව ගිනි ගනිමින් ශ්‍රී ලංකාව දෙසට තල්ලු වන්න විය.

ඉකුත් 3 වැනිදා හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා ඉකුත් 6 වැනිදා පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට මෙහෙයුමෙහි නිරතවූවන් සමත් වුවත්, නෞකාවේ උෂ්ණත්වය හා නෞකාව පැවති මුහුදු ප්‍රදේශයේ පැවති දැඩි සුළං ‍හේතුවෙන් 7 වැනිදා යළිත් ගින්නක් හටගත්තේය.

ඒ ‍නෞකාව සිසිලනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබියදීමය.

කෙසේ වෙතත් යළිත් මහත් පරිශ්‍රමයක් දරා ‍එම දෙවැනි ගින්නද 9 වැනිදා නිවා දැමීමට නාවික හා ගුවන් හමුදා මෙන්ම, ඉන්දීය වෙරළාරක්ෂක හමුදා කණ්ඩායම් සමත් විය.

නෞකාවේ බොයිලේරුවේ පිපිරීමකින් එහි එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන අතර පසුව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට එම මෙහෙයුමට එක්වූවෝ කටයුතු කළහ.

ගින්න සම්පූර්ණයෙන් නිවා දැමුණ ද විටින් විට නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම් සිදුවෙමින් පැවැතිණි.

පළමුව මෙහි එන්ජිමේ ඇති ඩීසල් කාන්දුවක් සිදුවූ අතර ඒ දිගින් දිගටම ජලය යෙදීම නිසා එන්ජිම පිහිටි කොටස තරමක් ගිලීයාම හේතුවෙන් බව නාවික හමුදාව සඳහන් කළේය.

පසුව එහි සිදුරක් ඇතිවී ඉන් ඉන්ධන කාන්දුවක් සිදුවූ අතර එය ද වසා දැමීමට නාවික හමුදාව කටයුතු කළේය.

නෞකාව විශේෂඥයින්ගේ පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර ගින්න නිවීමේදී සිදුවූ පාඩුව නෞකා හිමි ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ‘නිව් ෂිපින්’, සමාගමෙන් අයකරගැනීම පිළිබඳව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව තිබේ.

යම් හෙයකින් මෙම නෞකාවට හානියක් සිදුවී ඉන්ධන කාන්දු වූයේ නම් එය ලෝකයේ දරුණුතම සාගර ව්‍යසනයක් වනු ඇති බවට සමුද්‍රීය පරිසර අධිකාරිය සඳහන් කර තිබිණි.

නෞකාවේ පරීක්ෂාකිරීම සඳහා නෞකා හිමි සමාගම විසින් මේ වන විට එවා ඇති විශේෂඥයින් අතර නීතී උපදේශකයෙකු බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් ද වෙති.

අදාළ සමාගමට මේ වන විට නෞකාව රැගෙනයාමට ද අවසර දී ඇති අතර ඔවුන් නෞකාව රැගෙන ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශව තවදුරටත් ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුම්වල නිරතව සිටී.

එමෙන්ම මේ වන විට එය මෙරට මුහුදු සීමාවෙන් බොහෝ දුර ගැඹුරු මුහුද දක්වා රැගෙන ගොස් ඇත.

මෙම ගින්න නිවාදැමීම සඳහා නාවික හමුදා යාත්‍රාවලින් මෙන්ම ගුවන් හමුදා යානාවලින් ද ජල ලීටර් ලක්ෂ ගණනක් යොදා ති‍බේ.

ගුවන් හමුදා යානා මගින් නෞකාව මතට පතිත කළ දහන අපෝෂන රසායන ද්‍රව්‍ය ප්‍රමාණයද කිලෝ ග්‍රෑම් දහස් ගණනකි.

ගුවන් හමුදාව ගින්නක් නිවීම සඳහා දහන අපෝෂක වියළි රසායන ද්‍රව්‍ය යොදාගත් පළමු අවස්ථාව මෙය  බව ද ගුවන් හමුදාව සඳහන් කරයි.

අවසානයේ ඉතා සාර්ථකව ජයගත් මෙම අභියෝගය ලෝකය වෙනුවෙන් කළ මහඟු මෙහෙවරක් වන්නේ නෞකාව පුපුරායාමක් හෝ ඉන්ධන කාන්දුවීමක් වූයේ නම් එයින් ලෝකයටම බලපාන විශාල පරිසර හානියක් වන්නට තිබූ බැවිනි.

ඒ නිසාම යම් හානියක් වුවහොත් සහය දෙන්නැයි සමුද්‍රීය පරිසර අධිකාරිය ජාත්‍යන්තරයෙන් පවා ඉල්ලීම් කර තිබිණි.

එම හානිය වළක්වා ගත් නාවික, ගුවන් හමුදා විරුවන්ට මෙන්ම ඉන්දීය වෙරළා රක්ෂක හමුදා විරුවන්ට ලෝකයේම ගෞරවය හිමිවිය යුතුය.

විශේෂ පිළිගැනීමක් ...

මෙම මෙහෙයුමට එක්වූ හම්බන්තොට වරායේ ටග් යාත්‍රා හා කාර්ය මණ්ඩල වෙනුවෙන් එම වරාය පරිශ්‍රයේදී විශේෂ පිළිගැනීමක් පවා සංවිධානය කර තිබිණි. ඒ ඔවුන් කළ මහඟු මෙහෙවරේ වටිනාකම හේතුවෙනි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS