නාසා කැසිනි යානය අවසන් ගමන් යයි



සෙනසුරු ග්‍රහයාගේ සහ සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන්ගේ රහස් සොයමින්, වසර 13 ක් තිස්සේ ගවේෂණ චාරිකාවක යෙදුණු ‘කැසිනි’ නමැති ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් රොබෝ යානය පසුගිය 15 වැනිදා සිය අවසන් මෙහෙයුමට සම්බන්ධ විය.

නාසා විද්‍යාඥයන් යානය සෙනසුරුගේ වායුගෝලයට කඩා වැටෙන්න සැලැස්වූ අතර, සෙනසුරුගේ ප්‍රචණ්ඩ වායුගෝලයේ ගැටීමෙන් යානය සුනුවිසුණු වුණැයි පැවැසිණි.

නාසා විද්‍යාඥයන් කැසිනි යානය මෙසේ සෙනසුරුගේ වායුගෝලයට කඩා වැටෙන්න සැලැස්වූයේ කැසිනි යානයේ ආයු කාලය අවසන් වූ නිසාය. ආයු කාලය අවසන් වී අක්‍රිය වන යානය, අභ්‍යවකාශයේ ඉබාගාතේ සැරිසරනු දැකීමට තමන් අකමැති වුණැයි නාසා විද්‍යාඥයෝ පැවැසූහ.

සෙනසුරුගේ වායුගෝලයට කඩා වැටෙන්න සැලැස්වීමෙන් පසු කැසිනි යානය තත්පර 45 ක කාලයක් පෘථිවියට සංඥා එවීමට කටයුතු කළේය. කැසිනි යානය සෙනසුරු ග්‍රහයාට කඩා වැටී ඇත්තේ පැයට සැතපුම් 1,23,000 ක වේගයකිනි. කැසිනි නිකුත් කළ අවසන් සංඥාව, පෘථිවියට ලැබෙද්දී, යානය විනාශ වී තිබුණැයි නාසා විද්‍යාඥයෝ පැවැසූහ.

අවසන් මොහොතේ පවා, කැසිනි සෙනසුරුගේ ප්‍රචණ්ඩ මෙන්ම අති බිහිසුණු වායු ගෝලය ඡායාරූපයට නගා ඇත. වායු ගෝලයේ දත්ත රැස් කිරීමක් ද සිදු කර ඇත. ඡායාරූප සහ දත්ත සියල්ල පෘථිවියට ලැබෙන්න සලස්වා අවසන්ය. ඒ අනුව, සෙනසුරුගේ වායුගෝලයේ රසායනික සංයුතිය කෙසේදැයි දැන ගැනීමට නාසා විද්‍යාඥයන්ට හැකියාව ලැබුණි.

කැසිනි යානය සෙනසුරු මතුපිටට කඩා වැටෙන්න එය මෙහෙයවීම් කළේ, නාසා ආයතනයට අයත් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පැසඬේනා හි පිහිටුවා ඇති ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ, මෙහෙයුම් මැදිරියයි.

‘ඔබ හැමෝටම සුබ පැතුම්. කැසිනි මෙහෙයුම සාර්ථක ඉතා අපූරු මෙහෙයුමක්. ඊට දායක වුණු ඔබ සැමගේ මෙහෙවර අතිවිශිෂ්ටයි. දැන් ඉතින් සමු දෙන්න වෙලාව ඇවිල්ලා. කැසිනි මෙහෙයුම නිල වශයෙන් අවසන් වෙනවා.’ යැයි කැසිනි මෙහෙයුමේ අවසානය සනිටුහන් කිරීමට පෙර, නාසා මෙහෙයුම් නිලධාරී අර්ල් මෙයිස් පාලන මැදිරියේ සිටි තම සගයින් අමතමින් කියා සිටියේය.

කැසිනි යානය මෙසේ අවසන් ගමන් යෑම ලෝකවාසීන් බොහෝ දෙනකු දෑස් දල්වාගෙන සිටි මොහොතක් වූ අතර පැසඬේනා ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ, මෙහෙයුම් මැදිරියේ මෙහෙයුම් නිලධාරීන්ට, ඉන්ජිනේරුවන්ට ඇසට කඳුළ ගෙනා මොහොතක් වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

කැසිනි යානය පෘථිවියෙන් පිටවී ගියේ 1997 වසරේ ඔක්තෝබර් 15 වැනිදාය. කැසිනි මවු යානය සෙනසුරු වෙත ළඟා වූයේ 2004 වසරේ ජූලි 4 වැනිදාය. වසර 2000 දී, කැසිනි යානය සෙනසුරු බලා පැමිණිමට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත ග්‍රහයා වන බෘහස්පති වටා යමින් ගවේෂණ චාරිකාවක නියැලුණේය.

කැසිනි යානය සෙනසුරු බලා ගියේ තනිවම නොවෙයි. කැසිනි මවු යානයක් සේ ක්‍රියා කරමින්, තවත් කුඩා රොබෝ යානයක් ගෙන ගියේය. හයිගන්ස් යනු එම යානයයි. මෙය යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ගේත් නාසා විද්‍යාඥයන්ගේත් එකමුතුවෙන් නිර්මාණය වූ යානයකි.

මෙම යානයේ අරමුණ වූයේ සෙනසුරුට අයත් ‘ටයිටන්’ නමැති චන්ද්‍රයා මතුපිටට ගොඩ බැස එය ගවේෂණය කිරීමය. ‘හයිගන්ස්’ මෙහෙයුම ද ඉතා සාර්ථක වූ අතර, ටයිටන් චන්ද්‍රයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි.
හයිගන්ස් යානය අන්තර්ගත වූ හෙයින් කැසිනි මෙහෙයුම ‘කැසිනි හයිගන්ස්’ යනුවෙන් නම් කෙරුණි. ඒ, ඉතාලි තාරකා විද්‍යාඥ ජියොවානි කැසිනි සහ ඕලන්ද තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හයිගන්ස්න්ට ගරු කිරීමක් ලෙසිනි.  

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS