දවසකට මහ කොමසාරිස් වෙයි



තරුණ ගැහැනු ළමයින් වෙනුවෙන් වෙන් වුණු ජාත්‍යන්තර දිනයක් ඇති බව දන්නවාද? මෙම දිනය යෙදී ඇත්තේ සෑම වසරකම ඔක්තෝබර් 11 වැනිදාටය.

පසුගිය 11 වැනිදා තරුණ ගැහැනු ළමයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ඉන්දියාවේ අපූරු තරගයක් පැවැත්විණි. ඒ, කොරෝනා හුටපට මැදය. තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට ඉන්දියාවය.

තරගය සංවිධානය කළේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයි. ‘එක් දිනකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෙන්න’ තරගයේ නම විය. ජයග්‍රාහිකාවට එක් දිනකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය හිමිවෙයි. අභියෝග ජය ගනිමින්, ඉදිරියට යා හැකි දිරිය යුවතියන් හඳුනා ගනිමින්, ඔවුන්ට ශක්තිය ධෛර්යය ලබා දීම මෙම තරගාවලියේ අරමුණ බව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

ලැබෙන යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින්, ‘එක් දිනකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෙන්න’ තරගය සෑම වසරකම පැවැත්වීමට නවදිල්ලි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.

තරගය වෙන් වූයේ අවුරුදු 18 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ ඉන්දීය දැරියන් සහ යුවතියන් සඳහාය. මෙවර හොඳ අධ්‍යාපනයක් සහ හසල ඉංග්‍රීසි දැනුමක් ඇති තරුණ දැරියන් බොහෝ දෙනකු තරගාවලියට ඉදිරිපත් වූ බව පැවැසෙයි. කෙසේ නමුත් අවසානයේ ඉන්දිායවේ බ්‍රිතාන්‍ය මහ කොමසරිස් ලෙස කටයුතු කරන ශ්‍රීමත් පිලිප් රොබර්ට් බාටන් ඉන්දියාව පුරා දැරියන්ගෙන් ලැබුණු අයැදුම්පත් අතරින් ජයග්‍රාහිකාවක තෝරා ගත්තාය.

ජයග්‍රාහිකාව වූයේ 18 හැවිරිදි චේතන්‍යා වෙන්කතේෂ්වරන් ය. චේතන්‍යා දිල්ලි පදිංචිකාරියකි. චේතන්‍යා, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වූයේ පසුගිය 12 වැනිදාය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වරිය වීමට ඉංග්‍රීසි බස හොදින් හැසිරවිය යුතුයි යන්න වැදගත්ම කොන්දේසිය විය. චේතන්‍යා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකි. ඇය ආර්ථික විද්‍යාව හදාරයි.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට පැවැරෙන රාජකාරි සුළුපටු නොවෙයි. ඉන්දියාවේ සිටින වඩාත් බලවත්ම බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ මහ කොමසාරිස්වරයාය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පිහිටා ඇත්තේ, නවදිල්ලි අගනුවර චනත්‍යාපූරි දිස්ත්‍රික්කයේය. පසුගිය 12 වැනිදා චේතන්‍යා සිය මාපියන් සමග මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇය පිළිගැනීමට ශ්‍රීමත් පිලිප් රොබර්ට් බාටන් ද එක් විය. චේතන්‍යා ට ගෞරවණීය පිළිගැනීමක් හිමිවිය. චේතන්‍යාට මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියක් ලැබුණි.

දිනකට මහ කොමසාරිස් ධුරය හිමිවුණු චේතන්‍යා, පළමුවෙන් ම නවදිල්ලි අගනුවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු ඉහළ නිලධාරීන් හමුවූවාය. ඉන්පසු දිල්ලි පොලිස් නිලධාරිනියන් සමග විශේෂ හමුවකට සහභාගී වීමට සිදුවිය. ඒ, නවදිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෙසු නගරවල කාන්තාවන්ට එරරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙනි. ඊට අමතරව, මාධ්‍ය හමුවකට ද ඇය එක් වූවාය. එහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කරන නිවේදන කීපයක් ඇය ඉදිරිපත් කළාය. 

ඉන්පසු බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව බෙදා දීමක් ද ඇය අතින් සිදුවිය. මේ සියලු කටයුතු සදහා චේතන්‍යා එක් වූයේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පිටුදැකීමට ගතයුතු සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා අනුගමනය කරමිනි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට ඇය සැමවිටම කල්පනාකාරී වූවාය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වීම චේතන්‍යා ට එය සැබැවින්ම අපූරු අත්දැකීමක් විය. දිනය අවසානයේ, ජයග්‍රහණය කරන ජයග්‍රාහිකාව‍ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ද කළ යුතු විය. එහිදී COVID-19 වසංගතය හමුවේ ලෝකය මුහුණදෙන අභියෝග සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් චේතන්‍යා අදහස් පළ කළාය.

ලුසිත ජයමාන්න
ටයිම්ස් ඔෆ් ඉන්දියා

RECOMMEND POSTS