තුර්කියේ අරුමය



තුර්කිය අද (29) ඔවුන්ගේ ජාතික දිනය සමරයි. මේ සටහන ඒ නිමිත්තෙනි.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, පසුගිය දා ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් ද තුර්කිය ලොව වැඩි වශයෙන් කතාබහට ලක් විය. සිරියානු අර්බුදයේදීත්, ඇමෙරිකන් පුරවැසියකු වන ජමාල් කශොග්ජී ඝාතන සිද්ධියේදීත් තුර්කි රජය අන්තර් ජාතික නීතිරීතිවලට අනුව, ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වන අයුරින් කටයුතු කළේය.

ඉකුත් 27 වැනිදා, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රධානත්වයෙන් සිරියාවට සාමය උදා කිරීමෙහිලා සාම සමුළුවක් ද ඉස්තාන්බුල් නුවර පැවැත්විණි. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ද සහභාගීත්වයෙනි.

නැගෙනහිර සහ බටහිර යා කරන ‘පාලම’ තුර්කිය යැයි කීවොත් එය නිවැරදිය. මැදපෙරදිග සිට යුරෝපයට ඇති ‘පිවිසුම’ තුර්කියයි. දශක හයකට පෙර, ඔටෝමාන් අධිරාජ්‍යය පැවැති සමයේ සිට බටහිර සහ පෙරදිග රටවල් අතර අන්තර් සබඳතා වර්ධනය කිරීමෙහිලා අපිකේන්ද්‍රය වූයේ තුර්කියයි. අද තුර්කිය සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වෙයි. මිලියන ගණනින් සංචාරකයන් තුර්කියට පැමිණෙන්නේ එහෙයිනි.

තුර්කිය සාඩම්බර ඉතිහාසකට උරුමකම් කියයි. අභිමානවත් සංස්කෘතියකින් තුර්කිය පොහොසත්ය. තුර්කියට පැමිණෙන සංචාරකයන්ට නැරැඹීමට ඇති ස්ථාන බොහොමයකි. සුන්දර වෙරළ තීරයක්, පැරැණි නගරවල විභූතිය, කැප්පඩෝසියා ස්වභාවික සුන්දරත්වය, වාස්තු විද්‍යාවේ මහිමය ඒ අතරින් කැපී පෙනෙයි. රසනහර පිනායන ප්‍රනීත ආහාර පාන, එලවළු සහ පලතුරු, මස් වර්ග සහ තුර්කියට ආවේණික පැණි රස අනාදිමත් කාලයක පටන් සංචාරකයන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වී ඇත.

සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස ඉස්තාන්බුල් සැලකිය හැකිය. යුරෝපයත් ආසියාවත් එක් කරන සංචාරක නගරය ලෙස ද ඉස්තාන්බුල් හඳුන්වා දිය හැකිය. බැසිලිකා පල්ලියක් ලෙසත්, පසුව රාජකීය මුස්ලිම් දේවස්ථානයක් බවටත් පත්වුණු සුප්‍රසිද්ධ ‘හගියාසොෆියා’ දෙව්මැදුර සංචාරකයන් අතරේ කැපී පෙනෙයි. ඊට අමතරව ඉස්තාන්බුල් නුවර පිහිටි ‘නිල් පල්ලිය’ හෙවත් ‘සුල්තාන් අහ්මද් පල්ලිය’ ද සංචාරක ආකර්ශනයකි.

මධ්‍යධරණී මුහුදට සමීප, සංචාරක ආකර්ශනය අන්ටාල්යා නගරයයි. ඉහත සඳහන් කළ ආකාරයට ‘ස්වභාවික අරුමයක්’ ලෙස සැලකෙන අසාමාන්‍ය හැඩයෙන් යුත් ගල් පිහිටීම්වලින් සමන්විත වුණු කැප්පඩෝසියා සැබැවින්ම විස්මිතය. වායු බැලූන යොදා ගනිමින් මෙම පළාතේ සුන්දරත්වය නැරැඹිය හැකිය. එය සැබැවින්ම අපූරු අත්දැකීමකි. මධ්‍යම තුර්කියේ ඒගන් පලාතේ ඉපැරැණි නගර, පමුක්කාලේ උණු දිය උල්පත් පවා සංචාරකයන් අතරේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.

අතීතයේ සේද මාවත හරහා වෙළෙන්දෝ තුර්කියට පැමිණියහ. අද සියලු පහසුකම්වලින් සමන්විත නව සාප්පු සංකීර්ණ රැසක් තුර්කියේ ප්‍රධාන නගරවල දකින්න ලැබේ. ඓතිහාසික වීදි පොළ සහ දේශීය වෙළෙඳසැල් විදෙස් සංචාරකයන්ගේ අවධානයට ලක් වී ඇත. අතින් වියන ලද තුර්කි කලාල, ස්වර්ණාභරණ, පිඟන් බඩු මෙම වෙළෙඳසැල්වල දකින්න ලැබේ.

තුර්කිය අපූරු සංචාරක කේන්ද්‍රස්ථානයක් බව පුනපුනා කිව යුතු නැත. තුර්කි ඉතිහාසය සහ සංස්කෘතිය හරහා දරුවන්ට ඉගෙන ගැනීමට ඇති දේ ද බොහාමය. ක්‍රියාකාරකම්වල නියැලෙමින් විනෝද වෙන්න කැමැති ඕනෑම සංචාරකයකුට තුර්කියේ ගම්බද ප්‍රදේශ හරි අපූරුය. කුසඩාසි, අන්ටල්යා, කළු මුහුද පමණක් නොව කැප්පඩෝසියා ද ඒ සඳහා අපූරු ගමනාන්තය. ඊට අමතරව, වැදගත්ම තවත් වැදගත් කාර්ණාවක් වන්නේ තුර්කි වැසියන්ගේ ආගන්තුක සත්කාරයයි. තුර්කි වැසියන් බොහොම කරුණාවන්තය. ආගන්තුක සත්කාරයෙන් ඔවුන් පොහොසත්ය. තුර්කිය ලොව කැපී පෙනෙන රටක් බවට පත් වී ඇත්තේ මේ නිසාය.

ශක්තිමත් විදෙස් ප්‍රතිපත්ති

සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස පමණක් නොවෙයි, ලෝක දේශපාලන කරළියේ ද කැපී පෙනෙන ස්ථානයක් හිමිකර ගැනීමට තුර්කිය සමත් වී සිටී. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ශක්තිමත් මෙන්ම නොසැලෙන නායකත්වය හේතුවෙනි. තුර්කියට පැහැදිලි ‘දැක්මක්’ ඇත. තුර්කියේ විදෙස් ප්‍රතිපත්තිය පැහැදිලිය. ව්‍යාපාරිකමය සහ මානුෂීය විදෙස් ප්‍රතිපත්ති තුර්කිය අනුගමනය කරයි. අනෝන්‍ය විශ්වාස මත සහ ගෞරවය මත ගොඩ නැගෙයි.

සිරියානු අර්බුදයට මැදිහත් වී, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට සහ ස්ථාවරත්වයක් ඇති කිරීමට තුර්කිය සැමවිටම ක්‍රියා කරයි. සමෘද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදී, ස්ථාවර සිරියාවක් බිහිවනු දැකීම තුර්කියේ අපේක්ෂාව වී ඇත. තුර්කිය සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින්නේ එක්සත් ජාතීන්ගේ නීතිරීතිවලට අනුකූලවය. සිරියානු සරණාගතයන් වෙනුවෙන් තුර්කිය දොර විවර කර තිබේ.

අද වනවිට යුද ගැටුම් හේතුවෙන් අවතැන් වුනු සිරියානුවන් මිලියන 2.5 කට වැඩි ගණනක් පමණක් නොව, ඉරාකයෙන් පැමිණ සිටින සරණාගතයන් ලක්ෂ පහකටත්, සෙසු රටවලින් රැකවරණය පතා පැමිණ සිටින සරණාගතයන්ටත් තුර්කිය පිහිට වෙයි. මෙම සරණාගතයන් වෙනුවෙන් තුර්කි රජය ඇමෙරිකන් ඩොලර් බිලියන 31 ක මුදලක් වැය කරයි. සරණාගතයන් සඳහා පිහිටුවූ එක්සත් ජාතීන්ගේ ආයතනයට අනුව, ලෝකයේ වැඩිම සරණාගතයන් පිරිසක් රැඳී සිටින රට තුර්කියයි.

තුර්කිය ත්‍රස්තවාදය හෙලා දකී. කිසිම අවස්ථාවක ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැත. ජාත්‍යන්තර සහයෝගීතාව මත ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්විය හැකි බව තුර්කියේ දැඩි විශ්වාසයයි. ගෝලීය ත්‍රස්ත මර්දන සම්මුතියේ කැපී පෙනෙන කාර්යභාරයක් තුර්කිය විසින් සිදු කරනු ලබයි. අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහිව තුර්කි බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ එක් වී දියත් කළ මෙහෙයුම් සාර්ථක වී ඇත.

තුර්කිය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව සමඟ නිරන්රයෙන් සම්බන්ධකම් පවත්වයි. එම සබඳතා දිනෙන් දින ශක්තිමත් වෙයි. නේටෝ සංවිධානයට සිටින ශක්තිමත් මෙන්ම විශ්වාසවන්ත මිතුරා තුර්කියයි. මූල්‍යමය වශයෙන් නේටෝවට තුර්කියෙන් දායකත්වයක් හිමිවෙයි. නේටෝවට අනුග්‍රහය දක්වන රටවල් අතරින් 8 වැනි ස්ථානයේ සිටින්නේ තුර්කියයි. තුර්කි ඇමෙරිකා සබඳතා අවුරුදු 60 කට වඩා පැරැණිය.

තුර්කිය ජී20 රටකි. ලොව ආර්ථිකය අතින් 13 වැනි ස්ථානයේ පසුවෙයි. යුරෝපා රටක් සේ සලකා බැලුවොත්, තුර්කිය සිටින්නේ ආර්ථිකමය වශයෙන් පස්වැනි ස්ථානයේය. තුර්කිය සැමවිටම, බලශක්ති සහ වෙළෙඳ ක්ෂේත්‍ර හරහා ඉදිරියට යයි. රටවල් 19 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට තුර්කිය අත්සන් තබා ඇත. යුරෝපා නිදහස් වෙළෙඳ සංසදය සමඟ ද ගිවිසුම් ඇතිකරගෙන තිබේ.

ගෝලීය අර්බුද කෙරෙහි උනන්දුවක් දක්වමින්, එම අර්බුද විසඳීමෙහිලා මැදිහත්වීමට තුර්කිය සැමවිටම උත්සාහ දරයි. අන්තර්ජාතික ප්‍රජාව සමඟත් අන්තර් ජාතික සමුළු සමඟත් තුර්කිය සම්බන්ධ වී සිටී. ජී20 සමුළුවේත්, ඉස්ලාමීය සහයෝගීතා මණ්ඩලයේත්, ආර්ථික සංවර්ධන ජාත්‍යන්තර සමුළුවේත් සභාපතිත්වය තුර්කිය විසින් හොබවනු ලැබ ඇත.

තුර්කිය සැමවිටම ලෝකයට විවෘත වී සිටින රාජ්‍යයකි. තුර්කිය ලොව සෙසු රටවල් සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වයි. රටවල් 70 ක් සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව, එම රටවල වැසියන්ට පහසුවෙන් තුර්කියට පැමිණිය හැකිය. එම රටවල් 70 සමඟ සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද යහපත් සබඳතා පවත්වාගෙන යෑමට තුර්කියට හැකියාවක් ලැබී ඇත. ආසියා පැසිෆික්, අප්‍රිකා, ලතින් ඇමෙරිකා සහ කැරිබියානු රාජ්‍යයන් සමඟ පවතින බැඳීම ශක්තිමත්ය. ආසියා පැසිෆික් කලාපයේ තුර්කි තානාපති කාර්යාල 15 ක් ස්ථාපිත කර ඇත. පසුගිය 2017 වසරේ දී, මෙම කලාපයේ රටවල් සහ තුර්කිය අතරේ, ඇමෙරිකන් ඩොලර් බිලියන 53.4 ක් වටිනා වෙළෙඳ ගනුදෙනු සිදුවිය.

විශේෂ ස්තුතිය
තුර්කි තානාපති කාර්යාලය

 


RECOMMEND POSTS