තුර්කි-සෞදි සබඳතා බිඳ වැටෙන ළකුණු



කටාර් අර්බුදය මුල්කොට ගනිමින් තුර්කිය සහ සෞදි අරාබිය අතර පවතින සබඳතා බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

කටාර් අර්බුදයේ දී තුර්කියේ සහාය ලැබෙන්නේ කටාර් රාජ්‍යයටය. කටාර් අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තුර්කිය සූදානමින් ද සිටී. කෙසේ නමුත් තුර්කිය, කටාරයේ පිහිටුවා ඇති ඔවුන්ගේ හමුදා කඳවුරට සෙබළුන් යැවීමට ගත් තීරණය හේතුවෙන් සෞදිය සහ තුර්කිය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත.

ඉකුත් සති අන්තයේ කටාර් අර්බුදයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සෞදි රජු සමඟ තමන් සාකච්ඡා පැවැත්වූ බවත් තුර්කි විදේශ ඇමැති මෙව්ලුට් කවුසොග්ලූ පැවැසීය. කෙසේ නමුත් සුබවාදීව ආරම්භ වුණු එම සාකච්ඡා මේ වනවිට අඩපණ වී ඇතැයි ද පැවැසෙයි.
කටාර් අර්බුදය ආරම්භ වූයේ සෞදියේ මූලිකත්වයෙනි. ඒ, කටාර් රජය අන්තවාදයට සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා යැයි චෝදනා කරමින්ය.

සෞදියට සෙසු ගල්ෆ් කලාපීය රටවල් වන බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීරය සහාය දැක්වූ අතර, සෞදිය මෙන්ම කටාරය සමඟ සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා දැමීය.

ඒ සමඟ සෞදිය හුදෙකලා වූ අතර කටාරයේ මිතුරන් වන තුර්කියෙන් පමණක් නොව, ඉරානයෙන් ද කටාරයට සහාය හිමිවිය. ඉරානය ආහාර, පළතුරු සහ එළවළු ටොන් ගණනින් කටාරයට ගුවනින් සහ නැව් මගින් එවා ඇත. ඒ, කටාරයේ ආහාර අර්බුදයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහාය.

තුර්කි විදේශ ඇමැතිවරයා සහ සෞදි රජු සල්මාන් අබ්දුල්ලාසිස් අල් සෞද් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වූයේ පසුගිය 17 වැනිදාය. කටාර් අර්බුදය දිග්ගැස්සීමට තමන්ගේ කිසිදු අදහසක් නැති බව සෞදි රජු එම අවස්ථාවේදී තුර්කි විදේශ ඇමැතිවරයාට පහදා දුන් නමුත් කටාරයට තුර්කිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් නොසතුට පළ කර ඇත.

මේ අතර ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සෞදියට පවසා ඇත්තේ හටගත් අර්බුදය සාමකාමීව, කඩානමින් අවසන් කරන ලෙසටය. කටාර් අර්බුදය තව දුරටත් දිග්ගැස්සුනනොත් එය ලෝක යුද්ධයකට මඟ පාදනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කර ඇත. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද කටාර් අර්බුදය විසඳීමට මැදිහත් වී ඇතැයි වාර්තා වේ. ඒ, මෙක්සිකොවේ පැවැත්වීමට නියමිත සමුළුවක් ද අවලංගු කරමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS