තායි රජුගේ රාජකීය අගමෙහෙසිය



තායිලන්තයේ වජිරලොන්කෝන් රජුට බිසෝවරුන් දෙදෙනෙකි. රජු විසින් එයින් එක් අයකු නම් කරනු ලැබ ඇත්තේ ‘රැජින’ යනුවෙනි. අනෙක් බිසව ‘රාජකීය අගමෙහෙසිය’ එසේත් නැතිනම් ‘රාජකීය බිසව’ යනුවෙන් නම් කරනු ලැබ තිබුණි.

‘රාජකීය බිසව’ වූයේ 34 හැවිරිදි වියෙහි පසුවන සුරූපී හමුදා නිලධාරියෙකි. ඇය සිනිනාත් වොන්ග්වජිරපක්ඩිය. තායිලන්ත කිරුළට අවමන් කළැයි චෝදනා කරමින් රජු, සිනිනාත් වොන්ග්වජිරපක්ඩි ට ලබා දී තිබුණු රාජකීය පදවි නාම සහ සියලු නිලතල ඉවත් කළේය. ඒ, රාජ ආඥාවක් නිකුත් කරමිණි.

‘රැජින’ ට එරෙහිව කුමන්ත්‍රණය කළ බවටත්, ඇය ‘රැජින’ ට සම වීමට උත්සාහ කළ බවටත් සිනිනාත් ට චෝදනා එල්ල වෙයි. තායිලන්ත ‘රැජින’ ලෙස සැලකෙන්නේ වජිරලොන්කෝන් රජුගේ සිවුවැනි බිරිඳ වන 41 හැවිරිදි වියෙහි පසුවන සුතිදාය.

සිනිනාත් දීර්ඝ කාලයක පටන් රජුගේ පෙම්වතියක වූ තැනැත්තියකි. රජු මැය ‘රාජකීය බිසව’ ලෙස නම් කළේ පසුගිය ජූලි මාසයේදීය. දැන් ඇයට එම ගෞරව නාමය පමණක් නොව, ඇය හමුදාවේ දැරූ නිලයයන් පවා අහිමි වෙන බව තායිලන්ත රජ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. තායිලන්ත රැජිනට එරෙහි යම් කුමන්ත්‍රණයක් කළොත්, එය තායි නීතිය යටතේ වසර 15 ක සිර දඬුවමක් හිමිවිය හැකි වරදකි.

වජිරලොන්කෝන් රජු, සිනිනාත් සිය ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කළේ පසුගිය ජූලි 28 වැනිදාය. ඒ, රජු විවාහ වී මාස දෙකකට පසුවය. සිනිනාත් ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කිරීම සිදුවූයේ රජුගේ 67 වැනි ජන්ම දිනයදාය.  තායිලන්ත රජු විවාහ වූයේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිනිය මෙන්ම දීර්ඝ කාලීන පෙම්වතිය ද වූ 41 හැවිරිදි සුතිදා සමඟය. ඒ පසුගිය මැයි මාසයේදීය. 

සුතිදා බිසව, තායිලන්ත රැජින යන ගෞරව නාමයෙන් නම් කිරීමට රජු එදින පියවර ගත්තේය. සුතිදා ගුවන් සේවිකාවක ලෙසත් රජුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිනිය ලෙස කටයුතු කළ තැනැත්තියයි.

අතීතයේ තායිලන්ත රජවරුන්ට බිසෝවරුන් කිහිප දෙනකු සිටි නමුත් 1921 සිට මේ දක්වා තායි රජවරුන්ට සිටියේ එක් බිසවක් පමණි.

සිනිනාත් ද හමුදා සොබළියක පමණක් නොව, ප්‍රහාරක ජෙට් යානා නියමුවරියකි. පැරෂූට් ශූරියකි. ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයෙකි.

රජු මැදිහත් වී සිනිනාත්, මේජර්වරියක ලෙස උසස් කර තිබුණි. නිලතල අහිමි කිරීමෙන් පසු  සිනිනාත් ට මේජර් නිලය ද අහිමි වනු ඇතැයි පැවැසෙයි. ප්‍රහාරක ජෙට් යානා නියමුවරියක, පැරෂූට් ශූරියක සිය දක්කම් පෙන්වන ආකාරය දැක්වෙන ඡායාරූප පසුගිය කාලයේ සමාජ මාධ්‍ය සහ විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

වජිරලොන්කෝන් රජු, සිනිනාත් සිය ‘රාජකීය බිරිඳ’ ලෙස පත් කරගත් අවස්ථාව. රජු අසල අසුන් ගෙන සිටින්නේ රජුගේ බිරිඳ මෙන්ම රැජින ලෙස ද හැඳින්වෙන සුතිදාය.

තායි රජු සහ ‘රාජකීය බිරිඳ’ සිනිනාත් සමඟ හමුදා නිල ඇඳුමින් සැරැසී. මොවුන් දෙදෙනා සමඟ සිටින මෙම බලු සුරතලාට ද රජු එයාර් මාෂල් තනතුරක් පිරිනමා ඇත

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS