තව අවුරුදු දෙකයි මැමතාට පණ එනවා



පෙනුමින් අලි ඇතුන් හා සමාන මැමත් සත්වයින් ජීවත් වුණේ අවුරුදු 1,20,000 ත් 4,000 ත් අතර ඈත අතීතයේය.

‘මැමුතස් ප්‍රිමිජිනියස්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් ද හැඳින්වෙන මැමතුන් එදා ජීවත් වූයේ අද ආසියාවට, රුසියාවට සහ උතුරු ඇමෙරිකාවට අයත් ස්ටෙප් තණබිම්වලය.

ඒ, එවකට පැවැති අයිස් යුගයේය. අධික සීතලෙන් මිදීමට මැමතුන්ගේ සිරුරු ඝන ලොම්වලින් පිරී තිබුණි. සම සෙ.මී. 2.5 ක් ඝනකමින් යුක්ත වූයේ තෙල් තට්ටුවලින් පිරී තිබුණු නිසාය. හොඳින් වැඩුණු මැමත් පිරිමි සත්වයෙකු මීටර් 4 ක් පමණ දිගය. උස මීටර් 2.9 ක් වූ අතර බර ටොන් 6 කි.

අවුරුදු දහස් ගණනකට පෙර මිහිමත ඇවිද ගිය මැමතාගේ වඳවී යෑමට ප්‍රධානතම හේතුව වූයේ බුද්ධිමත් ‘දඩයක්කාරයකු’ මැමතා ඉවක් බවක් නැතිව දඩයම් කිරීම යැයි පැවැසෙයි. මේ බුද්ධිමත් ‘දඩයක්කාරයා’ ආදී මිනිසාය. 1997 වසරේ සිට අද වනවිට විද්‍යාඥයන්ට සයිබීරියාවෙන් හොඳින් සුරැකී පොසිල වුණු මැමත් සිරුරු හමුවී ඇත. මැමත් පැටියකුගේ සිරුරක් ද හමුවී ඇත. විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව සමඟ මැමතකුගේ ඩී.එන්.ඒ වෙන් කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. 2012 වසරේ පටන් විද්‍යාඥයන් පැවැසුවේ ඉදිරි දිනෙකදී ජුරාසික් පාර්ක් චිත්‍රපටවල ඩයිනසෝරයන්ට පණ දුන්  අයුරින්, නව තාක්ෂණය යොදාගෙන මැමතකුට පණ දීම සිදුවනු ඇතැයි කියාය.

හවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මෙන්ම චීන විද්‍යාඥ පිරිසක් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ තව අවුරුදු දෙකකින් මැමකුට පණ දෙන්න ඔවුන්ට හැකියාව ලැබේවි කියාය. ඔවුන් මේ මැමතා නිර්මාණය කරන්නේ ආසියානු අලියකුගේ ජාන සමඟ මිදී පොසිලකරණය වුණු මැමත් ජාන මුසුකරමිනි.

එහෙයින්, උපදින නව සත්වයා මැමතකුට බෙහෙවින් සමානකම් කීවත්, ඌ සියයට සියයක්ම මැමතකු නොවනු ඇතැයි ද හාවඞ් විද්‍යායෝ පැහැදිලි කරති. ඔවුන් මෙම නව සත්වයා, එසේත් නැතිනම් විකෘතිය නම් කරනු ඇත්තේ ‘මැමෙෆන්ට්’ යනුවෙනි. ඒ, ‘එලිෆන්ට්’ සහ ‘මැමත්’ යන වදන් දෙක එක් කරමිනි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS