ජීවිතයේ අභියෝග දිනූ ජෝ බයිඩන්



‘අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගන්නේ කොහොමද? රැවටිලි නැතිව, කොන්දේසි නැතිව ආදරය කරන්නේ කොහොමද? කිසිදු ලාබ ප්‍රයෝජනයක් නැතිව ජනතාවට සේවය කරන්නේ කොහොමද? මේවාට පිළිතුර තමයි ජෝ බයිඩන්. ඔබ කවුරුත් ජෝ බයිඩන් ගැන දැන ගන්න ඕනෑ. දැන ගැනීම වටිනවා. හේතුව පරිපූර්ණ, අර්ථවත් ජීවිතයක් ගත කරන තැන්තකු සිටිනවා නම්, ඒ වෙන කවුරුවත් නොවෙයි; ජෝ බයිඩන්.’ - බැරැක් ඔබාමා

දීර්ගවූත්, වෙහෙසකරවූත් ජනාධිපතිවරණයකින් පසු, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට තේරී පත්වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජනපති ධුර අපේක්ෂකයා වූ ජෝ බයිඩන්ය. බයිඩන්, ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත 2022 ජනවාරියේය. 77 හැවිරිදි වියෙහි පසුවන බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වෙයි. බයිඩන්, අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමෙරිකාවේ දේශපාලනයට සම්බන්ධ පරිනත දේශපාලඥයෙකි. ගෞරවය දිනා ගත් සෙනෙට් සභිකයෙකි. දක්ෂ නීතීඥයෙකි. ආදර සැමියෙකි. සෙනෙහෙබර පියෙකි. සීයා කෙනෙකි. අභියෝග ජය ගනිමින් ජීවිතය ජයගත් අපූරු මිනිසෙකි. බැරුක් ඔබාමා, ඇමෙරිකාවේ ජනාදිපති ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා වූයේත්, උප ජනාධිපති වූයේත් බයිඩන්ය. වයසින් මුහුකුරා යද්දී තමන් සතු අත්දැකීම් අනුව, වර්තමානයේ ඇමෙරිකානුවන් මුහුණ දෙන අර්බුදවලට විසඳුම් ලබා දීමට හැකි බව බයිඩන් පවසා තිබේ. ඒ, අතරින් ඇමෙරිකානුවන්ට වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ප්‍රධාන තැනක් ගනු ඇත.

ජෝ බයිඩන්, හන්ටර් සහ බෝ වඩාගෙන, පළමු බිරිඳ නෙයිලියා (මැද)

ජෝ බයිඩන්ගේ සම්පූර්ණ නම ජෝසප් රොබිනෙට් බයිඩන් ජූනියර් (කණිෂ්ඨ) ය. උපත ලැබුවේ පෙන්සිල්වේනියාවේ ස්ක්‍රැන්ටන් නුවරය. ඒ, 1942 නොවැම්බර් 20 වැනිදාය. බයිඩන් සිය උපාධිය හිමිකර ගත්තේ ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයෙන් සහ සිරකියුස් නීති විද්‍යාලයෙනි. නීතී විද්‍යාලයෙන් පිටවීමත් සමඟ තරුණ බයිඩන් නිව් කාසල් ප්‍රාන්ත නගරසභාවේ සාමාජිකයෙක් විය. 1972 වසරේ සිට 2009 තෙක් බයිඩන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩල නියෝජිතයෙක් ලෙස කටයුතු කළේය. සෙනෙට් විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ධුරයත්, නීති කමිටුවේත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

බයිඩන් තරුණ කාලේ

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඇමෙරිකන් ඉතිහාසයේ පස්වැනි ළාබාලතම සෙනෙට් සභිකයා වූයේ බයිඩන්ය. ඒ, ඩෙලවෙයාර් ජනපදය නියෝජනය කරමිනි. නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ බයිඩන් දේශපාලනයට පිවිසියේ එලෙසිණි. ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස බයිඩන් ධුර කාල 6 ක් ඩෙලවෙයාර් ජනපදය නියෝජනය කළේය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් සඳහා සිය සහාය ලබා දුන්නේය. ඒ, සෙසු දේශපාලනඥයන්ගේ විවේචන මධ්‍යයේය. 1994 අපරාධ මැඩලීම සම්බන්ධයෙන් මෙන්ම 1996 විවාහ නීති සම්බන්ධයෙන් සකස් කළ පනත් සම්මත කර ගැනීමේ දී බයිඩන් සහාය දුන්නේය. කාන්තා හිංසනයට එරෙහිව හඩ නැගුවේය. 2007 වසරේ දී හරිතාගාර වායු අවම කිරීමේ පනත් කෙටුම්පතට ද සහාය දැක්වීය. 2012 වසරේ දී  ජෝ බයිඩන් සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය‍.

ජනාධිපති ඔබාමා සමඟ උප ජනපති ලෙසින්

අට වසරක්, ඔබාමාගේ දෙවැනියා ලෙසත් ඇමෙරිකන් උප ජනාධිපතිවරයා ලෙසත් බයිඩන් කළ සේවය කැපී පෙනෙයි. බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂකයා ලෙස නම් කෙරුණු අවස්ථාවේ පටන්, ඔබාමාගේත් ඔබාමා බිරිඳ මිෂෙල්ගේත් සහාය ඔහුට නොඅඩුව ලැබුණි. ඔබාමා සිය අවසන් ධුර කාලය හොබවද්දී, බයිඩන් ඇගැයීමට ලක් කළේ, නිදහස වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති වීර පදක්කම බයිඩන්ට පිරිනැමීමෙනි. මෙය සිදුවූයේ ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී, බයිඩන් පුදුම කරවමිණි. එය ජෝ බයිඩන්ගේ නෙතට කඳුලක් ගෙනා සිදුවීමක් විය.

ජෝ බයිඩන් සිය දූ දරුවන් සහ මුණුපුරු මිණිපිරියන් සමඟ

1966 වසරේදී ජෝ බයිඩන් විවාහ වූයේ, නෙයිලියා හන්ටර් සමඟ ය. යුවලට පුතුන් දෙදෙනකු සහ සිඟිති දියණියක් විය. අනපේක්ෂික සිදුවීමක් මුල්කොට ගනිමින්, 1973 වසරේ, නත්තල් නිවාඩුව ජෝ බයිඩන්ගේ ජීවිතය අඳුරු විය. ඒ අවාසනාවන්ත දිනයේ බයිඩන්, බිරිඳ නෙයිලියා, සිඟිති දියණිය නියෝමි සහ පොඩි පුතුන් දෙදෙනා හන්ටර් සහ බෝ, නත්තල වෙනුවෙන් නගරයේ සාප්පු සවාරියක නියැලෙමින් සිටියහ.

සිදුවුණු රිය අනතුරකින්, බිරිඳ සහ දියණිය මියගිය අතර බයිඩන් සහ පුත්තු දෙදෙනා තුවාල ලබා දිවි ගලවා ගත්හ. බිරිඳ සහ දියණිය අහිමිවීමත් සමඟ බයිඩන් පුතුන් දෙදෙනා සමඟ නිවසේ තනිවිය. අසරණ විය. ජීවිතයේ සියල්ල අහිමිවූවා සේ ඔහුට සිතිණි. නිසි නසා ගැනීමට සිතුණු අවස්ථා බොහොමයක් බවත්, පුතුන් දෙදෙනා වෙනුවෙන් තමන් ජීවත්ව සිටිය යුතු බවත් තමන් තමන්ටම කියා ගත් බව බයිඩන්, පසුකාලීනව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණි. ‘මිනිස්සු දිවි නසා ගන්නේ ඇයි යන්න මට එදා වෙනකල් තේරුණේ නැහැ. මා නිතරම සිතුවේ දිවි නසා ගැනීම මහ මෝඩ වැඩක් කියලයි. ඒත් බිරිඳ සහ දියණිය අහිමි වෙද්දී මටත් එසේ සිතුණා. ඒත් මා හිත හදා ගත්තා. අභියෝග මැද ඉදිරියට ගියා.’ යැයි ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

බිරියගේ සහ දියණියගේ වියෝව කඳුළු අතරේ සඟවා ගනිමින්, පුතුන් දෙදෙනා දෑතින් වඩා ගනිමින් බයිඩන් ජීවිතයට මුහුණ දුන්නේය. රාජකාරි නිමවී, දුම්රියෙන් නිවස බලා පැමිණෙද්දී, පුතුන් දෙදෙනා නිදි කරවීමට ළමා කතන්දර කියවමින් ඒවා පාඩම් කර ගත්තේය. බිරිඳ අහිමි වූ දා පටන් උදෑසන ආහාරය පිළියෙළ කළේ ද බයිඩන්ය. කොතරම් රාජකාරි බහුල වුවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බයිඩන් කාලය වෙන් කර ගත්තේය.

බයිඩන් යළි විවාහ වූයේ 1977 වසරේදීය. ඒ, පුතුන් දෙදෙනකු ද සමඟ නීතියෙන් වෙන් වී සිටි ජිල් ට්‍රේසි ජේකොබ් සමඟය. පසුව ඇය ජිල් බයිඩන් බවට පත් වුණු අතර දැන් ඇය ඇමෙරිකා ජනපති ආර්යාවය. 1981 වසරේ දී ජෝ සහ ජිල් බයිඩන්ගේ පවුලට දියණියක් එක් වූවාය. ජිල් බයිඩන්, නිහතමානී තැනැත්තියකි. ඇය අධ්‍යාපනඥවරියකි.

2009 සිට 2017 තෙක් කාලයේ, ඔබාමාගේ දෙවැනියා එසේත් නැතිනම් ඇමෙරිකා උප ජනාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටිද්දී, ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් එක් වී පිළිකා හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර කිරීමටත් වැඩසටහනක් ආරම්භ කළහ. මෙමගින් ඇමෙරිකා පිළිකා රෝගීන් වෙනුවෙන් ඉටුවන සේවය අතිමහත්ය. ජෝ සහ ජිල් බයිඩන් යුවල මෙසේ පිළිකා රෝගීන් වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කළේ,  ජෝ බයිඩන්ගේ පළමු බිරිඳගේ පුතු බෝගේ මරණය හේතුවෙනි. බෝ බයිඩන් මියගියේ 2015 දීය.  ඒ, මොළයේ පිළිකාවක් හේතුවෙනි. ඒ වනවිට බෝ 46 හැවිරිදි වියෙහි පසුවිය. බෝ නීතීඥවරයෙකි. හමුදා නිලධාරියෙකි. ජෝ බයිඩන්ගේ අනෙක් පුතු හන්ටර් ද නීතීඥයෙකි. දෙස් විදෙස් සමාගම් කීපයක ව්‍යාපාරික කටයුතු පිළිබඳ උපදේශකවරයෙකි.

‘තමන්ගේ අවසානයට පෙර, දරුවන්ගේ වියෝව අත්විඳින්න සිදුවීම මවකට හෝ පියකුට දරා ගන්න බැහැ. ජීවිතේ අහිමිවීම යනු කුමක්දැයි මා හට අලුත් දෙයක් නොවෙයි. පවුල තරම්, තම ආදරණීයයන් තරම්, වටිනා දෙයක් මේ ලෝකයේ නැහැ. සියල්ල අහිමි වෙද්දී, ජීවිතය ජයගන්න, ජීවිතයට ආලෝකයක් වන්න උදව් වන්නේ තමන්ගේ ආත්ම ශක්තියයි. පුතු බෝ අහිමිවීම මට දරා ගන්න බැරිවුණා. හන්ටර් සහ බෝ දෙදෙනා කවදාවත් වචනයකින්වත් මගේ හිත රිදවා නැහැ. ඔවුන් දන්නවා අම්මා අහිමිවූ මොහොතේ පටන් ඔවුන්ට තාත්තා කෙනෙකු පමණක් නොවෙයි අම්මා කෙනකුත් වුණේ මා බව. ඔවුන් දෙදෙනාගේ වීරයා මමයි. ඔවුන් මා ගැන ආඩම්බර වෙනවා. ගෞරව කරනවා. මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය තිබෙන්නේ එතැනයි. අද මා ආඩම්බරකාර තාත්තා කෙනෙකු නොවෙයි. සීයා කෙනෙක්. අද මගේ මිණිබිරියන් උසස් අධාපනයට යොමු වී සිටිනවා. ඒක මට ලොකු සතුටක්.’ ජෝ බයිඩන් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS