ජගත් කාන්තා දිනය අද: මාර්තු 8 වැනිදා: ’එයාර් ඉන්දියා’ කාන්තාවන්ට වැඩි තැනක්



ලොව කාගේත් අවධානයට ලක් වෙමින්, ගිනස් ලෝක වාර්තා අතරට යෑමට ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවය පසුගියදා සමත් විය. ඒ, ගුවන්තොටුපොළ ‘කවුන්ටරයේ’ සිට ගුවන් යානයේ නියමුවා දක්වා කාන්තා නිලධාරීන් යෙදවීමට එයාර් ඉන්දියා ප්‍රධානීන් තීරණය කිරීමත් සමඟය.

ඒ අනුව, ලොව පළමු කාන්තා නියමුවරියන් සහ කාර්ය මණ්ඩලයකින් සුසැදි එයාර් ඉන්දියා ගුවන් යානයක් ඉන්දියාවේ සිට ඇමෙරිකාව බලා ගියේය. නවදිල්ලි ගුවන්තොටින් ගුවන්ගත වුණු එයාර් ඉන්දියා යානයේ ගමනාන්තය වූයේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයයි.

ගුවන් යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩලය පමණක් නොව, ගුවන්තොටුපොළ කවුන්ටරයේ රාජකාරිවල නියැලුණේත්, යානයට බඩු පැටවීම සිදු කළේත්, ගුවන් පථයේ සිට යානය ගුවන් ගත කිරීමට මඟ සකස් කර දුන්නේත් කාන්තා නිලධාරිනියන් වීම තවත් විශේෂත්වයකි. මේ සියලු කටයුතු ගිනස් කමිටුවේ අධීක්ෂණය යටතේ සිදුවිය.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයේ ප්‍රධානීන් පවසා ඇත්තේ දැනටමත් වැඩිවැඩියෙන් කාන්තාවන් සේවයට බඳවා ගන්නා බවය. පසුගිය වසරේ සියයට 5 කට සීමා වූ එය මෙම වසරේ සිට සියයට 20 තෙක් ඉහළ දමන බව ද එයාර් ඉන්දියා බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වුණු යානයට ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බලා ළඟා වීමට ගත වුණු කාලය පැය 15 ක් සහ මිනිත්තු 30 කි. බෝයිං 777 200 එල් ආර් නමැති යානය, සැතපුම් 9,500 ක දුරක් ගෙවා ඇමෙරිකාවට ළඟා විය. යානයේ ප්‍රධාන නියමුවරිය වූයේ ක්ෂමාත් බජ්පායිය.

‘මේක ඓතිහාසික අවස්ථාවක්. අභිමානයෙන් යුතුව කාන්තාවන්ට ඔවුන්ගේ බලය පෙන්වීමට ලැබුණු අවස්ථාවක්. පුරුෂාධිපත්‍ය රජයන ක්ෂේත්‍රයන් ජය ගැනීමට කාන්තාවන්ට ඉදිරියේ දී හැකියාව ලැබේවි’ යැයි ක්ෂමාත් වජ්පායි අදහස් දක්වමින් කියා සිටියාය. පිරිමින්ට පමණක් කළ හැකියි කියා දෙයක් ලොවේ නැති බවත් යෞවනියන්ට නොබියව ලෝකය ජය ගන්න එයාර් ඉන්දියා ගුවන් සේවය ගත් මෙම තීරණය රුකුලක් වන බව ද කෂ්මාත් කියා සිටියාය.

ලෝකයේ කාන්තා ගුවන් නියමුවන් සිටින්නේ 33 දෙනකු පමණක් බව ද පැවැසෙයි. මෙම ඓතිහාසික ගුවන් ගමනේ දී ප්‍රධාන නියමු කෂ්මාත්ට සහාය දැක්වූ සෙසු සහාය නියමුවරියන් වූයේ ඩෝන් කුක් සහ ස්ටෙෆ්නී ජොන්සන්ය. ගුවන් ගමන අවසානයේ දී ක්ෂමාත් වජ්පායි ඇතුළු පිරිස සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටියාහ.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS