ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ යුවතියෝ



වසර 69 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් තම නාමයන් සටහන් කරගැනීමට තරුණ නිලධාරිනීන් දෙදෙනෙක් පසුගියදා සමත් වූහ. ඒ එහි ප්‍රථම ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබමිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු ගුවන් නියමුවරියන් ලෙස මෙසේ පත්ව ඇත්තේ ආර්.ටී. වීරවර්ධන සහ ඒ.ඩී.පී.එල්. ගුණරත්න යන දෙදෙනාය.

මෙම දෙපලට පියාසර නිල ලාංඡන පැළඳවීම චීන වරාය විද්‍යා පීඨ කඳවුරේ දී ඉකුත් 15 වැනිදා සිදුකෙරුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම ගුවන් නියමුවරියන් දෙදෙනාගෙන් වීරවර්ධන ගුවන් නියමුවරිය සෑම අතින්ම අති දක්‍ෂ කැඩෙට් නිලධාරිනිය ලෙස රන් අසිපත හිමිකරගැනීම ද විශේෂත්වයක් විය. සෑම අතින්ම අති දක්‍ෂ කැඩෙට් නිලධාරියා ලෙස කාන්තාවක් තේරී ඇත්තේද ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වතාවට වන අතර ජනාධිපති වර්ණ සහිතව හමුදා පෙලපාලියක් මෙහෙයමින් එයට අණදුන් මෙරට පළමු නිලිධාරිනිය ලෙසද ඇය ඉතිහාසගත වූවාය.

මෙම නියමුවරියන් දෙදනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් සේවයට එක් ව ඇත.

වසර තුනක ඉතා අසීරු පුහුණුවකින් පසු නියමුවරියන් ලෙස අභිෂේක ලැබූ මෙම යුවතියන් නියමු කාර්යයන්ට අමතරව ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තාක්ෂණය හා කාර්මික ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් මෙන්ම මනා සටන් පුහුණුවක්ද ලබා ඇත.  

ශ්‍රී ලංකා තරුණියන්ට ආදර්ශයක් වෙමින් උඩු ගුවන ජයගන්නට එක්වන මෙම නිර්භීත තරුණියන් දෙදෙනා ලක්මාතාවට සැබැවින්ම ආඩම්බරයකි. මෙම ආඩම්බරකාර ලක් දියණියන් සියලු යුවතියන්ට ආදර්ශයක් වනු නොඅනුමානය.

පියාසර නිලධාරිනි ආර්.ටී.වීරවර්ධන

පියාසර නිලධාරිනි ආර්.ටී.වීරවර්ධන එසේත් නැතිනම් රංගනා වීරවර්ධන අම්පාරෙන් බිහි වූ වීරවරියකි. 1997 දෙසැම්බර් මස 4 වන දින උපත ලැබු ඇය තමන් උපන් නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී ගුවන් නියමුවරියක වශයෙන් අධිකාරිත්වයට පත් වීම ද දෛවෝපගත සිදුවීමකි.

රංගනා සිය ළදරු කාලය ගත ක‍ර ඇත්තේ අම්පාරේ වුවත් ඇය පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ දීය. අම්පාරේ දී පෙර පාසල් ගිය ඇය පසුව ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 169 ක් ලබා සමත්ව වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටත් ඇතුළු වූ අතර උසස් පෙළ හදාරා ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදීය. ඇය රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළු වූ‍යේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන 9 (A 9) ලබාගනිමිනි. උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි ඇය ‘බී’ සාමාර්ථ 3ක් ලබාගනිමින් එම කඩඉම ද එතෙර වී ඇත.

රංගනා තත්සරණි ගුවන් හමුදා පවුලක උපත ලබා තිබීම ද විශේෂත්වයකි. ගුවන් කාන්‍තා චිත්‍රා අයිරාංගනී එදිරිසිංහ AW/1094 F/Sgt Chithra Irangani Edirisinghe (Acct clk ) හා ශ්‍රී ලංකා පොලීස් සේවයේ හරිස්චන්ද්‍ර 5823 F/Sgt Harishchandra (Police) ඇගේ දෙමාපියන්ය. රංගනාගේ වැඩිමහල් සොයුරිය ගුවන් කාන්තා කෝප්‍රල් අයේෂා විරවරධනය. ඇයට බාල සොහොයුරෙකු ද වේ.

වෛද්‍යවරියකවීමේ අරමුණින් අධ්‍යාපනය ලබා ඇති රංගනා ‘වායු රයිෆල්’ ක්‍රීඩාවටත් දස්කම් දැක්වූවාය. 2013 අවුරුද්දේ වසරේ එම ක්‍රීඩාවෙන් සමස්ත ලංකා අනුශූරතාව ද දිනා ගෙන ඇති රංගනා පසුව තීරණය කළේ ගුවන් නියමුවරියක වන්නටය.

''ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූ මට විද්‍යා පීඨයකට ඇතුළු වෙනවාට වඩා ගුවන් නියමුවරියක්වීමේ කැමැත්තක් ඇතිවුණා. මා මෙතැනට ගෙනාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. රුපියල් කෝටි ගණනක් වැය කරලා විදෙස් ගුවන් නියමු පුහුණුවක් ලැබුවත් මට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව රටට සේවය කරන්න ඉඩක් නොලැබෙන්න තිබුණා. බර අවි පුහුණුව ඇතුළු හමුදා නිලධාරිනියක් සතු විය යුතු සෑම සුදුසුකමකින්ම අපට පරිපූර්ණ වෙන්න ලැබුණේ ගුවන් හමුදාවේ අති දක්ෂ පුහුණු කිරීමේ නිලධාරීන් නිසයි.

ඒ වගේම ගැහැනියකට කළ හැකි දේ අති විශාලයි. එතැනදී පුද්ගලික ජීවිතය වගේම රාජකාරි ජීවිතය සමබරව පවත්වාගත හැකි නම් අපට ඉතා වටිනා ජීවිත ගත කරන්න පුළුවන් වෙනවා...’ ඒ රංගනාගේ අදහසයි.

පියාසර නිලධාරිනී ඒ.ඩී.පී.එල්.ගුණරත්න

ඒ.ඩී.පී.එල්.ගුණරත්න නැතිනම් පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න පාසල් කාලයේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එක සේ දස්කම් දැක්වූ දියණියකි. මහනුවර, අම්පිටියේ, දළුගොල්ලේ පදිංචි ඇය දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා දරුවාය. ඇගේ පියා වන අනුර ගුණරත්න වෘත්තියෙන් සංචාරක මගපෙන්වන්නෙක් වන අතර මව වන ප්‍රදීපා දසනායක ගෘහණියකි.

මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්වය විභාගය සමත්ව මහනුවර පුෂ්පදාන විද්‍යාලයට ඇතුළු වූවාය.

 අධ්‍යාපනයට මෙන්ම මලල ක්‍රීඩා සඳහාත්, විවාද කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසත් දස්කම් පෑ පවිත්‍රා පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කර තිබේ.

 ''පුංචි කාලේ ඉඳන් මගේ හිතේ හමුදාවට බැ‍ඳෙන්න ආසාවක් තිබුණා. ගුවන් නියමුවරියන් බඳවා ගන්නා පණිවුඩය ලැබුණාම ඒ ආසාව තවත් කුළු ගැන්වුණා. මම ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නේ වසර 2017 ජූලි මස 19 දා. මේ පුහුණු කාලයේ මතකයන් බොහොමයි. අපිට ගුවන් හමුදාවෙන් දේශීය වගේම විදේශීය පුහුණු පාඨමාලා හදාරන්න අවස්ථාව ලැබුණා. එය හය මසක මූලික පියාසර පාඨමාලාවකින් හා හය මසක උසස් පුහුණු පාඨමාලාවකින් සමන්විත වුණා. ජීවිතයේ මුල්ම ආකර්ෂණීය මතකය දියතලාව මූලික සටන් පුහුණුවක යෙදුණු කාලයයි. ගැහැනියකට තිබිය යුතු ආත්ම විශ්වාසය සහ පෞරුෂය පිළිබඳ ගැඹුරු වැටහීමක් මේ වකවානුවේදි මගෙ ජීවිතයට ලැබුණා. මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන දවස ගුවන් යානයක පුහුණුවීම් කළ මුල්ම දවසයි. ඒ හැඟීම වචනයට ගොනු කරන්නත් අමාරුයි.

මම මේ අරමුණු වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. ගුවන් නියමුවරියක් ලෙස පියාසර ලාංඡනය පැලැඳි දි‍නයේ ඒ සියලු කැපවීම්වල ප්‍රතිඵල අත් කරගත්තා. දැන් මගෙ අභිලාෂය රටට වගකියන පුරවැසියෙක් ලෙස ගුවන් හමුදාවේ කීර්ති නාමය රැකගෙන හොඳ ගුවන් හමුදා නියමුවරියක් වීමයි. මේ වෘත්තිය හරියටම ඉටු කරන්න මං ඇප කැප වෙනවා. " ඇය පැවසුවාය.

ගැහැනියකට ගෘහණියකගේ සීමාවෙන් එහා බොහෝ දේ කළ හැකි බවත්, අධිෂ්ඨානය ඇත්නම් ඕනෑම අරමුණක් කරා ගමන් කළ හැකි බවත් ඔවුන් යළි යළිත් අපට පසක් කර තිබේ. ඉතිහාසයේ අලුත් පිටුවක් සනිටුහන් කළ ඔවුන්ට රට වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන්නට ලැබේවා යන්න අපගේ ද පැතුමයි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS