ගිනස් පොතට යන හමුදා නිවුන් සොයුරෝ



ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිවුන් සහෝදරයින් දෙපළක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළ ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් වීම සඳහා අදාළ ලියකියවිලි භාර දී තිබේ.

ඊට අදාළ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා‍ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී ඉකුත් දා පැවැත්විණි.

ගිනස් වාර්තා පොතට ඇතුළත්වීම සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය නිල ලිපි ලේඛනවලට ඔවුහු මෙහිදී  අත්සන් තැබූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සොහොයුරන් දෙපළ එකම දිනක පාසලට ඇතුළත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව, එකම දින අධිකාරියට පත්ව ඇත.

එසේම ඔවුන් පාකිස්තානයේ ක්වේටාහි විදේශීය පාඨමාලාවක් හදාරා එකම දින උසස්වීම් ලබා තිබීමද විශේෂත්වයකි.

ජිවිතයේ බොහෝ සුවිශේෂී සංදිස්ථාන ඔවුන් එකම දිනක එකට ගමන් කොට ඇති සේම යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීම ද එකම දිනක සිදු කිරීමට නියමිතය.

වසර 71 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක්කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ “මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණය කොට යුද්ධ හමුදාව වෙත ඇතුලත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන බවයි.

ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව ඔවුන්ට සුබපතන බව ද හමුදාපතිවරයා පැවසීය.

ගිනස් වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

සටහන
ඩයනා උදයංගනී

RECOMMEND POSTS