ගිටාරයෙන් සමුගත් සුපිරි ගායකයා



රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමුගත්තේ බටහිර ගීත ලෝලීන්ගේ දෑස් තෙත් කරමිනි.

ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි.මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය.

දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද 'Roll Over Beethoven' සහ 'Johnny B. Goode' ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

පසුගිය දා (18) පස්වරුවේ ඔහු මිය ගිය බව ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ පොලිසිය තහවුරු කළේය.

බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන් සංගීත කණ්ඩායම් විසින් ඔහුගේ ගීත යළි ගයනා කරනු ලැබ තිබේ. රෝල් ඕවර් බීතෝවන් සහ ජොනී බී ගුඩ් ඇතුළු රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ විශිෂ්ඨ නිර්මාණ රැසක් බිහි කළ චක් බෙරී සංගීතය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා 1986 වසරේදී සදාතනික සංගීත ශිල්පියෙකු ලෙස නම් කෙරුණි.

1984 වසරේදී ග්‍රැමී සම්මානයෙන්ද පිදුම් ලැබූ චක් බෙරී ගේ නිර්මාණ පසුව බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන්ස් වැනි සංගීත කණ්ඩායම් විසින් යළි ගායනා කිරීමද විශේෂත්වයකි. "රොක් ඇන්ඩ් රෝල් සංගීතයට වෙනත් නමක් ලබා දෙනවා නම්, ඔබට එය චක් බේරී ලෙස හඳුන්වන්න පුළුවන්" බීට්ල්ස් ගායක ජෝන් ලෙනන් වරක පැවසීය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS