ග්‍රහකය ඇල්ලූ හයබූසා



අභ්‍යවකාශ තරණයේ තවත් වික්‍රමයක් ඊයේ 28 වැනිදා සිදුවිය. ඒ, පෘථිවියෙන් යැවූ රොබෝ ගවේෂණ යානයක්, හිරු වටා ගමන් කරන සහ පෘථිවිය ආසනන්යට පැමිණෙන, ග්‍රහකයක් ලුහුබැඳ, ඊට ගොඩබෑමට සැලැස්වීමය.

වික්‍රමයට සම්බන්ධ වී සිටින්නේ, ජපාන අභ්‍යවකාශ ආයතනයයි. ග්‍රහකය පසුපස යමින්, ඊට ළං වී, පසුව එය මත ගොඩබෑවේ ජපාන අභ්‍යවකාශ ආයතනයේ ‘හයබූසා 2’ මෙහෙයුමට සම්බන්ධ ‘හයබූසා 2’ රොබෝ යානයයි.

‘හයබූසා 2’ යානයේ ඉලක්කය වූයේ ‘162173 රයිගු’ ග්‍රහකයයි. ‘162173 රයිගු’ යන නමින් නම් කළ, මීටර් 9,000 ක විශ්කම්භයෙන් යුත්, මෙම ග්‍රහක ගමන් කරමින් ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් මිලියන 187 ක් දුරිනි. ජපන් බසින් ‘රයිගු’ යනු මකර මාලිගයයි. ඒ, ජපාන සුරංගනා කතාවල සඳහන් වන ආකාරයටය.

‘හයබූසා 2’ යානය සම්බන්ධ වුණු මෙම ‘හයබූසා 2’ මෙහෙයුම සුවිශේෂී එකක් වන්නේ, ‘හයබූසා 2’ රොබෝ යානය ග්‍රහකය මත පතිත කිරීමෙන් පසු, එහි සාම්පල සහ දත්ත රැස් කිරීමෙන් පසු යළි පෘථිවිය බලා පැමිණීමට නියමිත වීමය. මෙම මෙහෙයුම දෙවැනි වන්නේ ‘හයබූසා 1’ මෙහෙයුමට පමණක් බවත්, ‘හයබූසා 1’ මෙහෙයුමේ දී සිදුවුණු අඩුපාඩු මඟහැර ගැනීමට තමන් ‘හයබූසා 2’ හරහා බලාපොරොත්තු වන බවත් ජපාන විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘හයබූසා 2’ මෙහෙයුම ආරම්භ කළේ 2014 දෙසැම්බර් 3 වැනිදාය. එය ‘162173 රයිගු’ ග්‍රහකය මත පතිත කළේ පසුගිය ජූනි 28 වැනිදාය. වසර එකහමාරක කාලයක් හයබූසා 2 ග්‍රහකය ගවේෂණය කිරීමට නියමිත අතර, ලබන 2019 වසරේ එය ග්‍රහකයෙන් මිදී යළි පෘථිවිය බලා පැමිණෙනු ඇත.

2019 දී ග්‍රහකයෙන් නික්මෙන ‘හයබූසා 2’ පෘථිවියට පැමිණෙනු ඇත්තේ 2020 වසරේදීය. ‘හයබූසා 2’ යනු එක් රොබෝ යානයක් පමණක් නොවෙයි. එය මවු යානයක් වැනිය. සන්වේදක පද්ධතියක්, කැමරා පද්ධතියක්, සාම්පල එක් රැස් කර ගැනීමේ විශේෂ උපකරණ පමණක් නොව, ග්‍රහකය මතුපිට එහෙමෙහෙ සැරිසරමින්, සාම්පල රැස් කිරීමට කුඩා රෝවර් යානා ද ‘හයබූසා 2’ ට ඇතුළත් වෙයි.

‘හයබූසා 2’ මවු යානයට සම්බන්ධ කරමින්, ග්‍රහකය මතට යැවුණු රෝවර් යානා ගණන 4 කි. ග්‍රහකයේ ඇත්තේ අඩු ගුරුත්වයකි. එහෙයින් රෝවර් යානා ග්‍රහකයට පතිත කිරීම සිදු කෙරුණේ ‘හයබූසා 2’ යානය සෙමින් ග්‍රහකට පතිත කරවන අතරතුරේදීය. ‘හයබූසා 2’ මවු යානය ග්‍රහකයට මීටර් 60 ක් පමණ ළං වෙද්දී, රෝවර් යානා මුදා හැරීම සිදුවුණු අතර, ග්‍රහකයේ අඩු ගුරුත්ව බලය හේතුවෙන් ඒවා සෙමින් සෙමින් පා වී ග්‍රහකය මත පතිත කෙරුණි. මේ සියල්ල සිදුවූයේ පෙර, කළ ගණනය කිරීම් සහ සැලැසුම් අනුවය.

‘හයබූසා 2’ යානයේ සාර්ථකත්වයට හේතු වූයේ ‘හයබූසා 1’ මෙහෙයුමය. ‘හයබූසා 1’ යානය ‘මිනර්වා’ යන නමින් ‘පතිත කරවන යානයක්’ ද රැගෙන ගියේය. අවාසනාවකට මෙම ‘මිනර්වා’ යානය නිසිලෙස පතිත කරවීම කළ නොහැකි විය. එම මෙහෙයුම අසාර්ථක විය. ‘හයබූසා 2’ යානය රැගෙන ගොස් ඇත්තේ ‘මිනර්වා 2’ නමැති යානයයි. ‘මිනර්වා 2’ ද කුඩා යානා දෙකක එකතුවකි. මෙම යානා දෙක ස්ථාන දෙකකින් ග්‍රහකය මත පතිත විය. රෝවර් යානා හතර දෙක බැගින් මෙම මිනර්වා 2 යානා දෙක තුළ රඳවා ග්‍රහකයට යවනු ලැබුණි.

‘හයබූසා 2’ යානයේ සුවිශේෂී සන්වේදක පද්ධතිය, ජර්මන් ගගන ආයතනයේ විද්‍යාඥයන් සහ තාක්ෂණශිල්පීන්ගේත්, ජර්මන් තාක්ෂණයේත් ආධාරයෙන් නිපදවා ඇත. මෙය හැඳින්වෙන්නේ ‘මැස්කොට්’ යනුවෙනි. ‘162173 රයිගු’ ග්‍රහකය ගවේෂණය කරනුයේ ‘මැස්කොට්’ නමැති මෙම සන්වේදක පද්ධතියේ ආධාරයෙනි. මෙම පද්ධතිය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කර ඇත.

‘හයබූසා 2’ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජපන් විද්‍යාඥයන් සමත් වූයේ, ඔවුන් විසින් 2003 වසරේ දී ආරම්භ කළ ‘හයබූසා 1’ මෙහෙයුම හේතුවෙන් යැයි පැවැසෙයි. ‘හයබූසා’ යනු ජපන් වදනකි. ජපාන බසින් ‘හයබූසා’ යනු කුරුල්ලන්, විශේෂයෙන් තාරාවන් ගොදුරු කර ගන්නා කුඩා කුරුළුගොයෙකි.

ජපාන අභ්‍යවකාශ ආයතනය ‘හයබූසා’ මෙහෙයුම ආරම්භ කළේ, ‘25143 ඉටොකාවා’ නමැති ග්‍රහකය ලුහුබැඳ ගොස් ඊට පතිත කර ගවේෂණය කිරීම සඳහාය.

2003 වසරේ මැයි 9 වැනිදා, ප්‍රබල රොකට්ටුවක ආධාරයෙන්, අභ්‍යවකාශයට යැවැණු ‘හයබූසා1’ යානය ග්‍රහකය වෙත යැවීම සිදුවිය. යානය 2003 වසරේ මැයි 9 වැනිදා ඉටොකාවා ග්‍රහකයට ළං විය. 

විශ්වයේ ඉතා වේගයෙන් ඇදී යන සහ පෘථිවියට ආසන්නයෙන් කැරැකෙන ග්‍රහක ගවේෂණයට යැවුණු පළමු යානා ‘හයබූසා 1 සහ 2’ නොවෙයි. ජපන් අභ්‍යවකාශ ආයතනයට පෙර, එම කටයුත්ත සිදු කළේ ඇමෙරිකාවය. ඇමෙරිකා නාසා ආයතනයේ ‘ගැලීලියෝ’ සහ ‘නියර් ෂූමේකර්’ එසේ ග්‍රහක ගවේෂණයට යැවුණු රොබෝ යානාය. ‘හයබූසා’ මෙහෙයුම්වලට සම්බන්ධ වන යානා ග්‍රහකය වෙත ගොස්, දත්ත රැස්කරගෙන, ආපසු පෘථිවිය බලා පැමිණෙයි.

‘හයබූසා 2’ නව මෙහෙයුමේදී මෙන් නොව, ‘හයබූසා 1’ පළමු මෙහෙයුමට සම්බන්ධ ‘හයබූසා’ යානය ග්‍රහකය වෙත ගොස් එයට ගොඩබෑවේ නැත. යානය කළේ යානය සමීපයට ගොස් එය ස්පර්ශ කිරීම පමණි. ග්‍රහකය එසේ ස්පර්ශ කිරීමේදී දත්ත රැස් කිරීම සිදුවිය. ‘හයබූසා 2’ යානය පතිත කරවන යානයක් සේ ක්‍රියා කරන අතර, එය කෙළින්ම, ග්‍රහකය මත පතිත කරවීම සිදුවිය.

2006 වසරේ මාර්තු 7 වැනිදා, සන්නිවේදන කටයුතු විටින් විට ඇණහිටගිය ‘හයබූසා 1’ යානයෙන් යළි සංඥා ලැබුණු බවත්, යානය සමඟ සම්බන්ධ වීමට හැකිවුණු බවත් ජපාන අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළේය.

‘හයබූසා 1’ යානය පෘථිවියට පැමිණ පෘථිවි වායුගෝලයට පිවිසියේ 2010 වසරේ ජූනි 13 වැනිදාය. 2010 නොවැම්බර් 10 වැනිදා වන විට ජපාන අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළේ තමන්ට යානයේ කැප්සියුලයෙන්, ග්‍රහකය සම්බන්ධයෙන් දත්ත රැසක් අනාවරණය කර ගැනීමට හැකිවුණු බවය.

‘හයබූසා 2’ මෙහෙයුම සාර්ථක කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපන් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියති. පෘථිවියට සමීපව, හිරු වටාත් කැරැකෙමින්, පෘථිවිය අසලින් ගමන් කරනා ග්‍රහක සඟවා ගත් විශ්වයේ ආරම්භය ගැන රහස් එකිනෙක අනාවරණය කර ගැනීමට එමගින් හැකිවනු ඇති බවත්, ජපන් අභ්‍යවකාශ ආයතනය වැඩි දුරටත් කියා සිටී.

ඬේලිමේල් ඇසුරිනි.


RECOMMEND POSTS