කොරෝනා මර්දන තවත් එන්නතක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් කරළියට පැමිණ තිබේ. මෙම නව එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණ සමාගමය.

මීට පෙර, සාර්ථක බව පැවැසුණේ, ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම් එක්වී නිපදවූ එන්නතය. ‘බයෝ ඇන් ටෙක්’ සමාගමට එන්නත නිපදවීමට මූල්‍ය පහසුකම් ලබා දීම කළේත්, එම සමාගම සමඟ ‘ෆයිසර්’ සමාගම එක් කළේත් ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයයි. සුබවාදී බලාපොරොත්තු දැල්වූ ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත සියයට 90 ක් සාර්ථක බව පැවැසිණි.  කෙසේ නමුත් ‘මොඩර්නා’ සමාගමේ කොරෝනා එන්නත ඊට වඩා ඉදිරියට පැමිණ සිටින්නේ සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරමින්ය.

කෙසේ නමුත්, ‘මොඩර්නා’ එන්නත හෝ ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත හෝ තෙවැනි අදිරයේ අවසන් සායනික අත්හදා බැලීම් තවමත් සම්පූර්ණ කර නැත. එන්නත් සාර්ථක බව එම සමාගම් පවසන්නේ තෙවැනි අදියරේ පළමු පෙළ සායනික අත්හදා බැලීම් සියයට සියයක් සාර්ථක වූ බැවිනි. ‘මොඩර්නා’ සමාගම පවසා ඇත්තේ ඉදිරි සති කීහිපයේ දී ඇමෙරිකන් වෛද්‍ය සභාවේ අනුමැතිය සඳහා එන්නත ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවය. ‘මොඩර්නා’ එන්නත සියයට සියයක් ඇමෙරිකානු නිෂ්පාදනයකි.

තෙවැනි අදියරේ පළමු වටයේ සායනික අත්හදා බැලීම් සිදු කර ඇත්තේ තෝරා ගත් ඇමෙරිකානුවන් 30,000 කට එන්නත ලබා දීමෙනි. ‘මොඩර්නා’ එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, පළමු මාත්‍රාව ලබා දී සති 4 කින් දෙවැනි මාත්‍රාව ලබා දෙයි. ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ ඉන්පසුවය. එහිදී සියයට 94.5 ක පිරිසකට වයිරසයෙන් ආරක්ෂා වීමට හැකිවුණු බවත් ඉතිරි පිරිසට වයිරසය ආසාදනය වූ බවත් ‘මොඩර්නා’ සමාගම කියයි. කෙසේ නමුත් එසේ වයිරසය ආසාදනය වූවන් දරුණු ලෙස රෝගී නොවුණු බවත්, ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බවත් පැවැසෙයි.

‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත සේම, ‘මොඩර්නා’ එන්නත ද සියයට සීයයක් අතුරු ආබාධවලින් තොරය. කලාතුරකින් උණ ඇතිවන නමුත් පැරසෙටමෝල්වලින් එය සමනය කර ගත හැකිය. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ‘මොඩර්නා’ එන්නත කෙරෙහි ද විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර් එන්නත මෙන් නොව, ‘මොඩර්නා’ එන්නත ගබඩා කිරීමට අවශ්‍ය වන්නේ සෙල්සියස් අංශක රින 20 ක උෂ්ණත්වයකි. එන්නත, සාමාන්‍ය ශීතකරණයක් තුළ මාස 6 ක් දක්වා වයිරසය සුරක්ෂිතව ගබඩා කළ හැකිය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත එසේ නොවෙයි. එය ගබඩා කිරීමට සෙල්සියස් අංශක රින 75 ට ක උෂ්ණත්වයක් අවශ්‍ය වෙයි. එවැනි උෂ්ණත්වයක් යටතේ ද එන්නත තබා ගැනීමට හැකි වන්නේ දින 5 ක කාලයක් පමණය. ඒ අනුව, ‘මොඩර්නා’ එන්නත ඉදිරියෙන් සිටී. හේතුව සියලු පහසුකම්වලින් පරිපූර්ණ රෝහලක පවා ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත ගබඩා කර තබා ගැනීම අසීරු වන බැවිනි. ඒ අනුව, දිලිඳු රටවලට බෙදා හැරීමේ දී සාර්ථක වන්නේ ‘මොඩර්නා’ එන්නතය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්න සහ ‘මොඩර්නා’ එන්නත මගින් සිදු කරන්නේ, ‘කොවිඞ් 19’ වයිරසයේ ජාන කේතයක් සිරුරට ඇතුළු කිරීමය. සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ ඒ අනුවය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත ද මාත්‍රා දෙකකි. පළමු මාත්‍රාව ලබා දී දින 21 කට පසු දෙවැන්න ලබා දෙයි.  ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත හෝ ‘මොඩර්නා’ එන්නත හෝ කුඩා දරුවන් වෙනුවෙන් ‘ආරක්ෂිත’ යැයි මෙතෙක් තහවුරු කර නැත. මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු පුද්ගලයන් පමණි.

මේ අතර, තම විද්‍යාඥයන් විසින්, ‘කොවිඞ් 19’ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත, සියයට 92 ක් සාර්ථක යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගමත් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමත් එක් වී නිපදවූ එන්නත සේම, ‘ස්පුට්නික් 5’ එන්නත කෙරෙහි ද විශ්වාසය තැබිය හැකි බව පුටින්, ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දී තිබේ. “ජර්මනියේ බයෝ එන් ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ සමාගම් එක් වී නිර්මාණය කළ එන්නත සාර්ථක වේවි. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් අපගේ විද්‍යාඥයන් ස්පුට්නික් 5 එන්නත හැදුවේ මාස ගණනකට කලින්. එය තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් කළා. එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර තිබුණත්, තවමත් අනුමැතිය ලැබී නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය උනන්දු වන්නේ බටහිර එන්නතක් ගැන පමණයි. රුසියාව හෝ චීනය නිපදවන එන්නත් ගැන තැනීමක් නැහැ.” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. රුසියාව, ස්පුට්නික් 5 එන්නතට අමතරව, කොරෝනා ආසාදනය වීම වළක්වන තවත් එන්නත් දෙකක් ද නිපදවා ඇතැයි ද පැවැසෙයි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS