කේ 2 තරණය කළ නේපාල වීරයෝ



ලොව උසම කන්ද එවරස්ට් ය. එවරස්ට් කඳු මුදුන පළමුවෙන් ම තරණය කළේ නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඞ්මන් හිලරි සහ නේපාල ඉන්දීය ෂර්පාවරයකු වන ටෙන්සිංග් නෝර්ගේ ය. එවරස්ට් තරණය අවදානම්ය. අසීරු අභියෝගයකි. මරණය සමඟ සෙල්ලමකි. කෙසේ නමුත් ලොව දෙවැනියට උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන ‘කේ 2’ තරණය ඊටත් වඩා අසීරු අභියෝගයකි.

එම අභියෝගය ජය ගනිමින් ‘කේ 2’ කඳු මුදුන ද තරණය සිදුවිය. එම වික්‍රමය කළේ ඉතාලි කඳු නගින්නන් දෙදෙනකු වන ලීනෝ ලැසෙඩෙල්ලි සහ අචිල් කොම්පැග්නෝනී දෙදෙනාය. ඒ, 1954 ජූලි 31 වැනිදාය. මොවුන් දෙදෙනා මරණයට අභියෝග කරමින් ‘කේ 2’  කන්ද තරණය කළේ ග්‍රීෂ්ම සෘතුවේදීය. එහෙත් මේ වනතුරු ශීත සෘතුවේ ‘කේ 2’  කන්ද කිසිවකු තරණය කර තිබුණේ නැත. ශීත සෘතුවේ කන්ද තරණයට ගිය කඳු නගින්නන් බොහෝ දෙනකුට ආපසු පහළට ඒමට හැකි වූයේ ද නැත. හිම තට්ට අතරේ සිරවුණු බොහෝ දෙනකුගේ මළසිරුරු පවා හමුවී නැත. පසුගිය 16 වැනිදා නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශීත සෘතුවේ ‘කේ 2’ තරණය සිදුවිය. එම වික්‍රමයට සම්බන්ධ වූයේ දස දෙනකුගෙන් සමන්විත නේපාල කඳු නගින්නන් කණ්ඩායමකි.

‘එවරස්ට්’ ශිඛරය අයත් වන්නේ හිමාල කඳුවැටියටය. හිමාල කඳු වැටිය පිහිටා ඇත්තේ, නේපාලයත් ටිබෙට් රාජ්‍යයත් අතරේය. ලොව දෙවැනියට උසින් වැඩිම, තරණය කිරීම අසීරු ‘කේ 2’  අයත් වන්නේ කරාකොරාම් කඳු වැටියටය.

‘කේ 2’  කන්දේ සම්පූර්ණ උස මීටර් 8,611 (අඩි 28,251) කි. ‘කේ 2’  එවරස්ට් කන්දට වඩා මීටර් 200 ක් උසින් අඩුය. එවරස්ට් කන්දේ උස 8,849 කි. මීටර් 8,000 ට වඩා උසින් වැඩි කඳු 14 ක් ඇති අතර, ඒ අතරට ‘කේ 2’ ද අයත් වෙයි.

ශීත සෘතුවේ ‘කේ 2’ කඳු මුදුන පළමුවෙන් තරණය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවූයේ 10 දෙනකුගෙන් සමන්විත නේපාල කඳු නගින්නන් කණ්ඩායමකි. මොවුන් ෂර්පාවරුන් පිරිසකි. ෂර්පාවරුන් යනු හිමාල අඩවියේ ජීවත්වන ජන වර්ගයකි. හිමාල කඳු තරණයේ කොඳු නාරටිය ලෙස සැලකෙන්නේ මෙම ෂර්පාවරුන්ය. විදේශිකයන්ට හිමාල කඳු තරණයට සහාය වන්නේ ෂර්පාවරුන්ය.

කඳු නගින්නන්ට මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරන ෂර්පාවරුන් කඳු තරණයේ උපන් හපනුන් ලෙස ද සැලකෙයි. එසේ වුවත්, මෙතෙක් කල් ඔවුන් ප්‍රසිද්ධියට පත් වූයේ සහායකයන් ලෙස පමණි.

‘කේ 2’ තරණයත් සමඟ ෂර්පාවරුන් වීරයක් වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ‘දශක ගණනාවක් තිස්සේ නේපාල ෂර්පාවරුන් විදේශිකයන්ට උදව් කළා. එවරස්ට් වැනි ශිඛර තරණය කරන්න. ඒත් ෂර්පාවරුන් ඇගයීමට ලක්වුණු පළමු අවස්ථාව මෙයයි’ යැයි නේපාල කඳු නගින්නන්ගේ සංගමය බොහොම ආඩම්බරයෙන් පවසා ඇත.

ලෝක වාර්තාව පිහිටුවූ කණ්ඩායමේ එක් සාමාජිකයකු වන්නේ නිම්ස්දායි පුර්ජා ය. ලෝක වාර්තාව පිහිටුවූ කණ්ඩායමේ එක් සාමාජිකයකු වන්නේ නිම්ස්දායි පුර්ජා ය. පුර්ජා බ්‍රිතාන්‍ය හමුදා සේවයට ගිය නේපාල ‘ගුර්කා’ සොල්දාදුවෙකි. දැන් විශ්‍රාමිකය. 

පුර්ජා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, තමන් ඇතුළු තම කණ්ඩායමට පසුගිය 16 වැනිදා, නේපාල වේලාවෙන් සවස 5 ට ‘කේ 2’ කඳු මුදුනට සේන්දු වීමට හැකි වුණු බවය. මෙවර ශීත සෘතුවේ, ‘කේ 2’ තරණය කිරීමට තවත් කඳු නගින්නන්ගේ කණ්ඩායම් රැසක් පැමිණ සිටි නමුත්, සාර්ථක වූයේ නිම්ස්දායි පුර්ජා ප්‍රමුඛ නේපාල කණ්ඩායම පමණි.

අවසානයේ 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, කඳු මුදුනට පිවිසියත්, නේපාල කඳු නගින්නන් කණ්ඩායම් කීපයක් මෙම වික්‍රමයට සම්බන්ධ වී ඇත. කණ්ඩායම් තුනකට සහ හතරකට වෙන් වෙන්ව පැමිණි පිරිස 60 කි.

පසුව අවසානයේ දී කණ්ඩායම් හැම එකකින්ම එක් වුණු 10 දෙනා කඳු මුදුනට යෑමේ අවසන් වික්‍රමයට එක් වුණු බව පැවැසෙයි. ඒ, නේපාලය වෙනුවෙන්, ශීත සෘතුවේ ‘කේ 2’ පළමුවෙන් තරණය කිරීමේ ගෞරවය දිනා ගනිමිනි. 

පසුගිය 16 වැනිදා නේපාල කණ්ඩායමට අමතරව, ‘කේ 2’ කඳු මුදුනට යෑමට උත්සාහ කරමින් අසාර්ථක වූ ස්පාඤ්ඤ කඳු නගින්නන් කණ්ඩායමක් ආපසු පහළට පැමිණෙද්දී, එහි එක් සාමාජිකයෙක් ලිස්සා වැටීමෙන් මියගියේය. මියගියේ 49 හැවිරිදි සර්ගි මින්ගෝටේ නමැත්තාය.

ශීත සෘතුවේ ‘කේ 2’ කන්ද තරණය කිරීමට පළමුවෙන් ම උත්සාහ ගත් තැනැත්තා ඇමෙරිකන් කඳු නගින්නකු වන ජෝර්ජ් බෙල් ය. ඔහු කන්ද තරණයට ගියේ 1953 දීය. විය. ‘ඒක එසේ මෙසේ කන්දක් නොවෙයි. ඔබ මරන්න බලන් සිටින නරුම කන්දක්’ යැයි අසාර්ථක උත්සාහයෙන් පසු ජෝර්ජ් බෙල් ‘කේ 2’ හඳුන්වා දුන්නේය. එදා පටන්, තරණය කළ නොහැකි අභියෝගයක් විදියටත්, ‘මහා නරුම කන්දක්’ විදියටත්, ‘කේ 2’ සැලකිණි.

ඉන්පසු යළිත් ශීත සෘතුවේ, ‘කේ 2’ තරණය ආරම්භ වූයේ 1987 සහ 1988 කාලයේය. කඳු මුදුනට යෑමට උත්සහ කළේ කඳු නගින්නන් අතලොස්සක් පමණි. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර, ඔවුන් කිසිවකුට මීටර් 7,650 සීමාව පසු කළ නොහැකි විය.

‘කේ 2’ කන්ද තරණය කරද්දී, ඉහළින් දොබොක්කාවකි. මෙම ස්ථානයට පැමිණීම පමණක් නොව මෙය පසු කර යෑම ද පහසු නැත. යම් හෙයකින්, මෙම ස්ථානය පසු කිරීමට සමත් වුවහොත්, කඳු මුදුනට යා හැකි බව පැවැසෙයි.

ශීත සෘතුවේ, ‘කේ 2’ තරණයට පැමිණෙන බොහෝ කඳු නගින්නන්ට මෙම ස්ථානය පසු කිරීම මෙතෙක් කළ නොහැකි විය. මෙම ස්ථානයේ නිරන්තරයෙන් හිම කඩා වැටීම් සිදුවන අතර, 2008 දී සිදුවුණු එවැනි හිම කඳු කඩා වැටීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS