කුමරාගේ සිත් ගත් නිළි කෙල්ල



චාල්ස් කුමරු සහ ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරු සුදුසු සහකාරියක තෝරා ගෙන සිටී. බ්‍රිතාන්‍ය කිරුළ දැරීමට පස්වැනි ස්ථානයේ සිටින 33 හැවිරිදි හැරී කුමරුගේ සිත ගත්තේ ඇමෙරිකන් ජාතික රූපවාහිනී නිළියකි. ඇය මේගන් මාකල් ය.

ආදරයට වයස බාධාවක් නැති අතර, මේගන්ගේ වයස අවුරුදු 36 කි. හැරී කුමරු සහ මේගන්ගේ ‘හැංගිහොරා’ ආදර කථාව ඕපාදූප පුවත් සේවා ප්‍රසිද්ධියට පත් කළේ මීට වසරකට පමණ පෙරය. දෙදෙනා අවස්ථා කිහිපයකදී එකිනෙකා හමුවූහ. කෙසේ නමුත් එකිනෙකා ගැන ප්‍රසිද්ධියේ විස්තර කිසිවක් පැවැසුවේ නැත.

රජ පවුලේ සාමාජිකයකු විවාහ වන්නේ නම්, මහ රැජිනගේ අනුමැතිය සහ අවසරය හිමිවිය යුතු වෙයි. ඒ, අනුව, හැරී කුමරු සිය ආදරවන්තිය මෙගාන් ද කැටුව බකිංහැම් මාලිගයේදී සිය මිත්තණිය දෙවැනි එලිසබත් මහ රැජින හමුවිය. එහිදී, මහ රැජිනගේ ආශිර්වාදය දෙදෙනාට හිමිවිය. කෙන්සින්ටන් මාලිගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරු සහ මේගන් මාකෙල් නිල වශයෙන් පෙම්වතුන් බව ප්‍රසිද්ධ කළ අතර, දෙදෙනාගේ විවාහය ලබන වසර මුලදී පැවැත්වෙනු ඇතැයි ද දන්වා සිටියේය.

හැරී කුමරුගේ අයියණ්ඩිය විලියම් කුමරු, බිරිය කේට් මිඞ්ලිටන් කුමරිය, පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් පදිංචි වී සිටින්නේ කෙන්සිංටන් මාලිගයේය. හැරී කුමරු සිටින්නේ ද මෙම මාලිගයේය. කේට් කුමරිය තෙවැනි වරටත් මවු පදවිය අපේක්ෂාවෙන් සිටින්නීය.

බකිංහැම් මාලිගයේ දී මහ රැජින හමුවීමෙන් පසු හැරී කුමරු සහ මේගන් බී.බී.සී. නාළිකාව සමඟ මිනිත්තු 22 ක විශේෂ සම්මුඛ සාකච්ඡාවකට ද එක් වූහ. එහිදී, බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව, සෙසු ලෝක වාසීන් පුලපුලා බලා සිටි ඔවුන්ගේ ආදර කථාව ගැන සවිස්තර අනාවරණයක් සිදුවිය.

තමා පතාගෙන ආ තැනැත්තිය මේගන් බවත්, දෙදෙනා ආදරයෙන් බැදුණු බවත්, විවාහ වීමට තමා මේගන්ගෙන් කැමැත්ත විමසා සිටියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරමැද රෝස්ට් කළ කුකුළකු කෑමට සූදානමින් සිටිද්දී යැයි හැරී කුමරු පැවැසීය. දෙදෙනා මේ මාසය මුලදී රහසේම විවාහ ගිවිස ගත් බව ද මෙහිදී අනාවරණය විය.

දෙදෙනා පළමුවෙන් මුණගැසුණේ කෙසේදැයි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාව විමසූ අවස්ථාවේදී හැරී කුමරු කියා සිටියේ, ඔහුට මේගන් මුණ ගැසීමේ වාසනාව උදා වූයේ ඔහුගේත් මේගන්ගේත් පොදු මිතුරියකගේ මාර්ගයෙන් කියාය. මේගන් කියා සිටියේ එම මිතුරිය කවුරුදැයි හෙළි නොකරන බවත් එසේ කරන්නේ එම මිතුරියගේ පෞද්ගලිකත්වයට බාධාවක් වන නිසා බවත් මේගන් පැවැසුවාය. මුණ ගැසී ආශ්‍රය කිරීමෙන් පසු, තම ආරාධනාවකට අනුව, මේගන් අප්‍රිකා රාජ්‍යයක් වන බොස්ට්වානා වෙත ගෙන්වා ගැනීමට තමන් කටයුතු කළේ යැයි ද හැරී කුමරු පැවැසීය.

විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් සේම, මේගන් මාකෙල් ද රජ පවුලක සාමාජිකාවක නොවේ. ඇය බ්‍රිතාන්‍ය වැසියෙකු නොව, ඇමෙරිකානුවෙකි. මේගන් උපත ලබා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරය. ඒ අනුව, 1937 වසරෙන් පසු බ්‍රිතාන්‍ය රජ පවුලට විවාහ වන ඇමෙරිකානු ජාතිකයා වන්නේ මේගන්ය. 1937 වසරේ දී බ්‍රිතාන්‍ය කිරුළ දැරුවේ අටවැනි එඞ්වර්ඞ් රජුය. ඔහු විවාහ කර ගත්තේ ඇමෙරිකා ජාතික තරුණියකි. ඇය වොලිස් සිම්ප්සොන්ය. එඞ්වර්ඞ් රජු වොලිස් විවාහ කර ගත්තේ ඇය දික්කසාද වී සිටිද්දීය. මේගන් ද කලින් විවාහ වී දික්කසාද වූ අයෙකි.

මේගන් විවාහ වූයේ 2011 වසරේදීය. එම විවාහය පැවැතියේ 2013 තෙක් පමණි. මේගන්ගේ සැමියා වූයේ ට්‍රෙවර් එන්ගල්සන්ය. ටේ‍රවර් ද නළුවෙකි. නිෂ්පාදකවරියකි. දෙදෙනා විවාහවීමට පෙර 2004 වසරේ සිට එකට ඇසුරු කළ බව ද පැවැසෙයි. දැන් යළිත් වරක් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන බව බි්‍රතාන්‍ය මෙන්ම ඇමෙරිකා මාධ්‍ය ද වාර්තා කර තිබේ.

මේගන් උපන්නේ 1981 වසරේ අගෝස්තු 4 වැනිදාය. ඇය නිළියක පමණක් නොව, නිරූපිකාවක ලෙස ද කටයුතු කර තිබේ. මේගන් මාකෙල් නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2011 වසරේ සිට තිරගත වන ‘සූට්ස්’ නමැති ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාව හරහාය. දක්ෂ නීතීඥයන් දෙදෙනකු සහ ඔවුන්ගේ නීති සමාගම වටා මෙම කතා මාලාව ගෙතී ඇත. මේගන් සහ හැරී කුමරුගේ ආදර කතාව ප්‍රසිද්ධියට පත් වෙද්දී, ‘සූට්ස්’ කතාමාලාව ද ජනප්‍රිය වුණුයි පැවැසිණි. ‘සූට්ස්’ කතා මාලාවේ මේගන් පණ පොවන්නේ රේචල් සේන්ගේ චරිතයටය. දිනෙන් දින ජනප්‍රිය වන ‘සූට්ස්’ කතා මාලාවේ මේ වනවිට තරගත වෙන්නේ සත්වැනි කතාංග පෙළය.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර උපන් මේගන්, වේදිකා රංගනය සම්බන්ධයෙන් පමණක් නොව, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ද උපාධිධාරිණියකි. මේගන් සහ හැරීගේ පෙම් කතාව ගැන පළමුවෙන්ම කසුකුසුවක් නිර්මාණය වූයේ 2016 වසරේ ජූනි මාසයේදීය. දෙදෙනා විවාහ ගිවිස ගත් බව පැවැසෙන්නේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය.

විවාහයෙන් පසු තමා රංගනයට සමුදෙන බවත් හැරී කුමරු වෙනුවෙන් කැපවෙන බවත් මානවහිතවාදී කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය යොමු කරන බවත් පවසා ඇත. ඒ, බී.බී.සී. නාළිකාව සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේදීය. එය ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවේ රසික රසිකාවියන්ට කනගාටුවට කරුණක් වනු ඇතැයි බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේගන්ගේ පියා තෝමස් මාකෙල් සුදු ජාතික ඇමෙරිකානුවෙකි. ඇගේ මව ඩොරියා රැග්ලන්ඞ් අප්‍රිකානු ඇමෙරිකානු කළු ජාතික කරුණියකි. තෝමස් මාකෙල් ඇමෙරිකාවේ ජනප්‍රිය චරිතයකි. ඔහු සිනමාකරුවෙකි. එමී සම්මානයෙන් පිදුම් ලැබූ අයෙකි.

තෝමස් මාකෙල් ඇමෙරිකානුවකු පමණක් නොව, ඔහුට ජර්මන්, නෙදර්ලන්ත, අයර්ලන්ත, ස්කොට්ලන්ත පමණක් නොව, එංගලන්ත සම්භවයක් ද ඇති බව ඔහුගේ පවුලේ සුලමුල අනුව හෙළි වී තිබේ. ඒ අනුව, උපතින් ඇමෙරිකානුවකු වුවත් මේගන්ගේ පවුල් පසුබිම අනුව බි්‍රතාන්‍යය සමඟ ඇගේ සම්බන්ධයක් පවතී.

1997 වසරේ ඉතිහාසඥයන් ප්‍රකාශයට පත් කළ වාර්තා අනුව, මේගන්ගේ මී මිත්තණියක් වන 1823 සිට 1908 දක්වා ජීවත් වුණු හුසෙයි ස්මිත්ගේ පැවැත එන්නේ ජෝන් හුසේ නමැති බැරන්වරයාගෙන් බවය. ජෝන් හුසේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. එවකට බ්‍රිතාන්‍ය කිරුළ දැරුවේ හය වැනි හෙන්රි රජුගේ රජ පරම්පරාවය. රජුට විරුද්ධව ගියේ යැයි ජෝන් හුසේගේ හිස ගසා දමා තිබේ.

මේගන් මාකෙල් ද හැරී කුමරු සේම මානවහිතවාදියෙකි. කාන්තා අයිතීන් ගැනත් බාලිකා අධ්‍යාපනය ගැනත් ඇය අවස්ථා කිහිපයකදී ‘ටයිම්’ සඟරාවට අදහස් දක්වමින් පවසා ඇත. මේගන් පුණ්‍යායතන කිහිපයක් සමඟ එක් වී සිටින්නීය. පසුගිය 2016 වසරේ දී, මාකෙල් ජාත්‍යන්තර තානාපතිවරියක ලෙස කැනඩාවේ ‘වර්ල්ඞ් විෂන්’ රාජ්‍ය නොවන ආයතනය සමඟ එක් වී, අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් පිහිටුවීමට දායක වූවාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන රැසකට මේගන් සම්බන්ධය. පසුගිය දා කානඩාවේ ඔටෝවා නුවර පැවැත්වුණු ‘වන් යංග් වර්ල්ඞ්’ නමැති තරුණ සමුළුවට මේගාන් සහභාගී වූවාය. ඒ, ජනප්‍රිය නළු නිළියන් සහ ගායක ගායිකාවන් රැසක් ද සමඟය. කැනඩා අගමැති ජන්ටින් ටෘඩෝ පවා ඊට සහභාගී විය. එහිදී මානවහිතවාදියකු ලෙස මේගන්ගේ සේවය අගය කරමින් ඇයට විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS