කිම් ජොන් උන් - ට්‍රම්ප් ආදර අන්දරය



ඇමෙරිකාවට තර්ජනයක් වන අයුරින්, දිගු දුර මිසයිල අත්හදා බලමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය සැප්තැම්බරයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීය.  ‘ඩොනල්ඞ් ට්‍රම්ප් පිස්සෙක්. ඔහු ඇමෙරිකාව වලපල්ලට ඇද දමාවි. මම ප්‍රතිඥා දෙනවා මම ඔහු දණ ගස්සනවා’ කිම් ජොන් උන් එදා පැවැසීය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ මෙම ප්‍රකාශයට ජනපති ට්‍රම්ප් පිළිතුරු දුන්නේය. ‘උතුරු කොරියාවේ ‘රොකට් මිනිසා’ කලබලකාරයෙක්. උම්මත්තකයෙක්. ඔහු හදන්නේ මගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්නයි. ඔහුට පසු තැවෙන්න වෙනවා සත්තයි.’ ඒ, ට්‍රම්ප්ගේ පිළිතුරය. ජනපතිවරුන් දෙදෙනා ඔවුන්ගේ න්‍යෂ්ටික ශක්තිය ගැන පුරාජේරු දොඩන්න වූයේ ඉන්පසුවය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල විඳීම සඳහා බොත්තම ඇත්තේ තම මේසය මත යැයි කිම් ජොන් උන් කියද්දී, ට්‍රම්ප් ඊට නොදෙවැනි අයුරින් කියා සිටියේ ‘ඇමෙරිකාවේ න්‍යෂ්ටික මිසයිල විඳින බොත්තම උතුරු කොරියාවේ බොත්තමට වඩා ලොකුයි කියාය.

මේ අයුරින් මාස හයකට වැඩි කාලයක් තිස්සේ එකිනෙකාට දෙහි කපා ගනිමින් සිටි කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අද වනවිට කාගේත් මවිතයට හේතු වන පරිදි, එකිනෙකා හමුවී දේශපාලන රාමුවක් තුළ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඒ, පවතින අර්බුද විසඳා ගැනීමටය. මෙය ලොව කිසිවකු, කිසිම දේශපාලන විශ්ලේෂකයකු අපේක්ෂා නොකළ දෙයකි.

පසුගිය 9 වැනිදා, දකුණු කොරියා විශේෂ නියෝජිතයන් හරහා තමන්ට උතුරු කොරියානු නායකයාගෙන් ලැබුණු ආරාධනාව ට්‍රම්ප් බොහොම කැමැත්තෙන්, බොහොම ගෞරවයෙන් පිළිගත්තේ මුළු ලෝකයම අන්දමන්ද කරමිනි.  කිම් ජොන් උන් යෝජනා කර ඇත්තේ ‘කොරියානු සමුළුවක්’ පැවැත්වීමටය. ඊට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ට පමණක් නොව, ඇමෙරිකා ජනාධපති ට්‍රම්ප්ට ද ඔහු ඇරැයුම් කර තිබේ. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතරේ වෙනම හමුවක් ද පැවැත්වීමට නියමිතය.

‘මම කිම් ජොන් උන් හමුවන්න කැමැතියි’ යැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ධවල මන්දිරයට පැමිණි දකුණු කොරියානු නියෝජිතයන් දෙදෙනා වන එරට ජාතික ආරක්ෂක උපදේශක චංග් යූඊ යොංග් සහ බුද්ධි අංශ ප්‍රධානියා සුහ් හූන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමෙහිලා පෙරමඟ සකස් කළ දෙදෙනා වන්නේ මොවුන්ය.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සාකච්ඡාවේදී වැදගත්ම දේ වනු ඇත්තේ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන නැවැත්වීම හෝ සීමා කිරීමය. ඊට අමතරව, ඇමෙරිකාවට දේශපාලනික වශයෙන් වාසියක් ඇතිනම්, ඒ ගැන ද සාකච්ඡා කෙරෙනු ඇත.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව ලෝක ඉතිහාසයේ සංධිස්ථානයක් වනු ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු අතර හමුවක් පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත. ඇමෙරිකන් දේශපාලනයේ ඉතා වැදගත්ම ද්වීපාර්ශ්වික හමුව මෙය වනු ඇත.

කිම් ජොන් උන් සේම, ඩොනල්ඞ් ට්‍රම්ප් ද ‘හොස්ස ළඟින් මැස්සා’ යන්න බැරි චරිතයකි. මෙම හමුව සියුම්ව, ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර, ට්‍රම්ප් හෝ කිම් ජොන් උන් හෝ ඊට කෙසේ මුහුණදේවිදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. හමුව පැවැත්වෙන බව පැවැසෙන්නේ මැයි මාසයේ දිනයකය. දෙපාර්ශ්වයටම ඒ සඳහා හොඳින් ලකලෑස්තිවීම කළ යුතුය. කෙසේ නමුත් මොනවායින් මොනවා වේවිදැයි නොදන්නා හමුවකට ලකලෑස්ති වෙන්නේ කෙසේදැයි යන්න ද ප්‍රශ්නාර්ථයකි. ඊට හේතුව කිම් ජොන් උන් හෝ ට්‍රම්ප් හෝ කෙසේ හැසිරේවිදැයි කිසිවකුට කල්තියා පැවැසිය නොහැකි නිසාය.

හමුව පැවැත්වෙන ස්ථානය ද ඉතා වැදගත් වනු ඇත. ට්‍රම්ප් කැමැති වුවත්, වොෂින්යනයේ දී හමුව පැවැත්වීමට කිම් ජොන් උන් අකමැති වේවි. ඊට හේතුව වොෂින්ටනයට පැමිණීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවිනි. ට්‍රම්ප් ද උතුරු කොරියාවට යෑම ප්‍රතික්ෂේප කරාවි. ඒ, එහිදී ඔහුට ආරක්ෂාවක් නොමැති නිසාය. හමුව උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර දේශසීමාවේ පැන්මන්ජොන් නුවරදී පැවැත්වුවහොත් ඊට දකුණු කොරියානුවන්ගෙන් වැඩි බලපෑමක් එල්ල වනු ඇත.

හමුව චීනයේ බීජීං අනුවර පැවැත්වුවොත්, චීනය වාසි ගැනීමට උත්සාහ ගනීවි යැයි බියක් පවතී. එසේනම්, කිම් ජොන් උන් ට සහ ට්‍රම්ප් ට කාගේවත් බලපෑමක් හෝ අනතුරක් හෝ නැතිව සාකච්ඡා පැවැත්වීමට සුදුසුම ස්ථානය වන්නේ ජාත්‍යන්තර මුහුදය. කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඒ ඓතිහාසික හමුව මුහුද මැද නැවකදී පැවැත්වෙනු ඇතැයි ද අනුමානයක් පවතී.

මෙම සටහනට අයත් ඡායාරූපවල සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස සහ කිම් ජොන් උන් ලෙස රගපාන නළුවෝ දෙදෙනෙකි. මොවුන් මෙසේ මිත්‍රත්වයෙන් පෙනී සිටියේ පසුගිය දා පැවැති සීත ඔලිම්පික් උළෙලට පැමිණි අවස්ථාවේදීය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS