ඉස්ලාමීය අන්තවාදයේ නවතම ගොදුර



ඉස්ලාමීය අන්තවාදය ලොව රටවල් රැසක මුල් බැසගත් පිළිලයකි. යුරෝපා රටවල විටින් විට එය හිස ඔසවයි. ඉස්ලාමීය අන්තවාදයේ නවතම ගොදුර බවට පත් වූයේ ප්‍රංශයේ ගුරුවරයෙකි.

43 හැවිරිදි සැමුවෙල් පැටී නමැති ඔහු පැරිස් අගනුවර සිට කිලෝ මීටර් 30 ක් දුරින්, කොන්ෆ්ලා සැතනොරී පළාතේ, බොවුදේඔල්නේ පාසලේ ගුරුවරයකු ලෙස රැකියාව කළේය‍. පැටී, එම පාසලට පැමිණ වසර පහකි. ඔහු ඉගැන්වූයේ ඉතිහාසය සහ සමාජ විද්‍යාවය. පැටී, පදිංචි වූ නිවස පිහිටියේ බොවුදේඔල්නේ පාසලේ සිට මිනිත්තු 10 ක දුරකිනි. සති කීපයක් පුරාවට පැටී ට මරණ තර්ජන එල්ල වෙමින් තිබුණි. ඒ, ඔහු ඔහුගේ පංතියේ සිසු දරු දැරියන්ට, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පැහැදිලි කරමින් කියා දුන් පාඩමක් මුල්කොට ගනිමිනි.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරද්දී, සැමුවෙල් පැටී, උදාහරණ කොට ගත්තේ ‘චාලි හෙබ්බෝ’ සඟරාවය. ‘චාලි හෙබ්බෝ’ යනු ප්‍රංශයේ විකට කාටූන් සඟරාවකි. මහම්මත්තුමාට අපහාස වන අයුරින්, මහම්මත්තුමාගේ රුව ඇතුළත් කාටූන් පළ කිරීම හේතුවෙන් මෙම සඟරාව මුස්ලිම්වරුන්ගේ අප්‍රසාදයට පත් වී තිබේ. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත්, ආගමකට හෝ ආගමික නායකයකුට හෝ අපහාස කිරීම සුදුසු නොවන බව මුස්ලිම් ආගමික නායකයන්ගේ අදහසය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා එම අදහස අනුමත කර තිබේ.

2015 වසරේ, ජනවාරි 7 වැනිදා පැරිස් අගනුවර පිහිටි ‘චාලි හෙබ්බෝ’ කාර්යාලයට කඩා වැදුණු ප්‍රංශ මුස්ලිම් තරුණයෝ දෙදෙනක් සඟරාවේ කතුවරයා, විකට කාටූන් ශිල්පීන් ඇතුළු 12 දෙනකු වෙඩි තබා ඝාතනය කළහ. ඊට හේතු වූයේ ද මහම්මත්තුමාට අපහාස වන අයුරින් කාටූන් පළ කිරීමය. වෙඩි තැබීම කළේ සායිද් සහ ෂරීෆ් නමැති සොහොයුරන් දෙදෙනෙකි. මොවුහු එවකට ලොව භීෂණය පැතිරූ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට සහාය දැක්වූ අය වූහ. ඇමෙරිකන් හමුදා, සිරියා තුර්කි දේශසීමාවේ සැඟවී ජීවත්වූ අයි.එස්.අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරා දැමුවත්, ඔහුගේ අනුගාමියකන් තවමත් ලොව තර්ජනයකි.

සැමුවෙල් පැටීගේ පංතියේත්, බොවුදේඔල්නේ පාසලේත් මුස්ලිම් සම්භයක් ඇති දරු දැරියෝ බොහෝ දෙනෙක් අධ්‍යාපනය ලබති. පැටී, පංතියේ දරු දැරියන්ට ‘චාලි හෙබ්බෝ’ සඟරාව පෙන්වීම, මුස්ලිම් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතුවක් විය.‍ පාසලේ විදුහල්පතිවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණි. පැටීට දුරකතන මාර්ගයෙන් මරණ තර්ජන එල්ල විය. ඔහු පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබුණි. පසුගිය 16 වැනිදා සවස 4.50 ට පමණ සැමුවෙල් පැටී පාසලෙන් පිටවී නිවස බලා යෑමට සැරසුණේය. මාරයා තමා පසුපස පැමිණෙන බව පැටී දැන සිටියේ නැත. පාසල ඉදිරිපිට මාර්ගය පැනීමට පැටී සැරසුණා පමණි. ඔහුව ග්‍රහණයට ගත් තරුණයකු පිහි ප්‍රහාරයක් එල්ල කළේය. ඉන්පසු  ‘අල්ලාහ්හු අක්බර්’ (දෙවියන් ශ්‍රේෂ්ඨයි) කියමින්, එම තැනැත්තා, පැටීගේ ගෙල කපා දැමීය. මහමඟ, ලේ විලක් මැද, ගුරුවරයා අවසන් සුසුම්හෙලද්දී, අවට සිටි පිරිස් කෑ ගසන්න වූහ. ඝාතකයා පලා ගියේය.  ප්‍රංශ පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, ඝාතකයා හඹා ගිය අතර, ඔවුන්ට ඔහු කොටු කර ගැනීමට හැකිවිය. යටත් වීම ප්‍රතික්ෂේප කළ බැවින්, පොලිසිය ඔහුට වෙඩි තැබුවේය. පිහිය අතැතිව සිටි ඝාතකයා එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

ජනපති මැක්රොන් සොව පළ කරමින් ...

පැටී මරා දැමූ ඝාතකයා, අබ්දුල්ලාක් අබොයිඩොනවිච් ඇන්සොලෝව් නමැති 18 හැවිරිදි චෙච්නියානු සම්භවයක් සහිත, රුසියාවේ සිට ප්‍රංශයට ආ මුස්ලිම් සරණාගතයකු යැයි පසුව හඳුනා ගැණින. ඇන්සොලෝව් උපත ලබා ඇත්තේ රුසියාවේ මොස්කව් නුවරය. වැඩිදුර විමර්ශන සිදුවෙද්දී, මොහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ අයකු බව ද අනාවරණය විය. ප්‍රංශ ත්‍රස්ත මර්දන ඒකකය කළ වැටලීම්වලින් ඇන්සොලෝව් හා සම්බන්ධ අන්තවාදී අදහස් ඇති තවත් මුස්ලිම් තරුණ තරුණියන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැණින.

පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ පසුගිය 16 වැනිදා රාජකාරි අවසන් කළ පැටී පාසලෙන් පිටවූයේ සවස 4.45 බවය. ඇන්සොලෝව්, පාසල් ගේට්ටුව අසල ගැවසෙමින්, සැමුවෙල් පැටී කවුරුන්දැයි පාසල් දරු දැරියන්ගෙන් විමසමින්, පැටී එනතුරු පොරොත්තු වී ඇත. පාසල ඉදිරිපිට වීදීය හරහා යෑමට තැත් කරද්දී, ඇන්සොලෝව් පැටී ට පහර දුන්නේය. පළමුවෙන් ඔහු පැටීගේ උදරයට සහ පපුවට පිහියෙන් ඇන ඇත. ගෙල කපා දමා ඇත්තේ ඉන් අනතුරුවය.

1973 වසරේ උපන්, සැමුවෙල් පැටී විවාහකය. ඔහුට පස් හැවිරිදි පුතෙක් සිටී. පැටීගේ බිරිඳගේ කැමැත්ත අනුව, පැටී වෙනුවෙන් සමුදීමේ විශේෂ සැමරුමක් පැවැත්වූයේ ඊයේ (20) දිනයේය. පැටී ගුරුතැමාගේ ඝාතනය ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවක් බව හඳුන්වා දුන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බොයි-දුල්නේ උසස් පාසලට ගොස් විදුහල්පති ඇතුළු සෙසු ගුරුවරුන් හමුවී පැටී ගැන කතා කළේය. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය දරුවන්ට පහදා දීමට වෙහෙසුණු ගුරුවරයකුට ම්ලේච්ඡ ආකාරයට ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොයි-දුල්නේ උසස් පාසල ඉදිරිපිටට රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ ජනපති මැක්රොන් අවධාරණය කළේය.

මෙය ප්‍රංශයේ සියලුම ගුරුවරුන්ටත්, සමස්ත ප්‍රංශ වැසියන්ටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් යැයි ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය ජෝන් මිෂෙල් බ්ලොන්කර් අවධාරණය කළේය. ‘චාලි හෙබ්බෝ’ සඟරාව පැටී වීරයකු ලෙස හඳුන්වාදීමට පියවර ගත්තේය. සැමුවෙල් පැටී ඝාතනයට විරෝධය දක්වමින්, ප්‍රංශ ගුරු සංගම් දැවැන්ත රැලි පැරිස්, නීස්, මාසේල්, ලියොන් ආදී ප්‍රධාන ප්‍රංශ නගරවල සංවිධානය කර තිබුණි. ප්‍රංශය පුරා පැවැත්වුණු එම රැලිවලට සහභාගී වූ පිරිස මිලියන 1.5 ක් යැයි ප්‍රංශ පුවත් සේවා පෙන්වා දුන්නේය.

ප්‍රංශ පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS