ඉතාලියට කොරෝනා වසංගතයක් වුණු හැටි



යුරෝපා රටවල වැසියන්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු ය. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල පාපන්දු ක්‍රීඩකයන් යනු ජනප්‍රිය සුපිරි තරු ය.

උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි පළාතේ, බර්ගාමෝ නගරයේ ‘ඇටලැන්ටා’ පාපන්දු සමාජය පාපන්දු තරගයක් සංවිධානය කළේය. ‘ඇටලැන්ටා’ සමාජය, ස්පාඤ්ඤයේ ‘වැලේන්සියා’ පාපන්දු සමාජයට තරගයට ඇරැයුම් කළේය. එය ‘ඇටලැන්ටා’ පාපන්දු ඉතිහාසයේ සංවිධානය කෙරුණු මහා පාපන්දු තරගයක් විය.

බර්ගාමෝ නගරයට නුදුරින් මිලාන් නුවර සැන් සිරෝ ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වීමට කටයුතු සූදානම් වුණු අතර, තරගය පැවැත්වුණු දා එනම් පසුගිය පෙබරවාරි 19 වැනිදා, බර්ගාමෝ නගරයේ සෑම දෙනෙක්ම පාහේ සැන් සිරෝ ක්‍රීඩාංගනයට එක් රොක් වී සිටියහ.

පාපන්දු තරගය නැරැඹීමටය. ස්පාඤ්ඤයේ වැලේන්සියා පාපන්දු සමාජයට සහාය පළ කරමින්, ඔල්වරසන් දෙමින් එම පාපන්දු සමාජයේ ක්‍රීඩාලොලීහු 2,500 කට ආසන්න පිරිසක් ද ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ.

මේ අතර, තරගය නැරැඹීමට අදිසි මාරයා ද පැමිණ සිටි බව ක්‍රීඩාලෝලීන් හෝ ක්‍රීඩකයන් හෝ දැන සිටියේ නැත. ඒ මාරයා ක්‍රීඩා ලෝලීන් එසේත් නැතිනම් ‘මිනිස් බෝම්බ’ ලෙස පැමිණ සිටි ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් බව අනාවරණය වූයේ ඉතාලියේත් ස්පාඤ්ඤයේත් වසංගත තත්ත්වයක් නිර්මාණය වෙද්දීය.

ඒ අනුව, චීනයෙන් පිට, කොරෝනා වයිරසය අපිකේන්ද්‍රයට බවට ඉතාලිය පත් විය. අද වනවිට චීනයෙන් පිට වැඩිම මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. දෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට හිමි වී ඇත. ලොව වැඩිම කොරෝනා අසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි.

ඉතාලිය තුළ වයිරසය ඉවක් බවක් නොමැතිව පැතිර ව්‍යාප්ත වූයේ බර්ගාමෝ නගරය පිහිටි ලොම්බාර්ඩි පළාතෙනි. වයිරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ සොයා බලද්දී, පෙබරවාරි 19 වැනිදා පැවැති පාපන්දු තරගය ඊට මුල් වූ බව අනාවරණය විය. ඒත්, ඒ වනවිටත් ප්‍රමාද වැඩිය. ඉතාලියේ අසල්වැසියා ස්පාඤ්ඤය ද වයිරස මාරයාට බිලි වෙමින් තිබුණි. වැලෙන්සිනා පාපන්දු පිලේ බොහෝ දෙනකුට වයිරසය ආසාදනය වී තිබුණි. ක්‍රීඩකයන් හරහාත්, ක්‍රීඩා තරගය නැරැඹීමට ඉතාලියේ මිලාන් නුවර සැන් සිරෝ ක්‍රීඩාංගනයට ආ ක්‍රීඩාලෝලීන් හරහාත් වයිරසය ස්පාඤ්ඤයට ව්‍යාප්තවී ඇති බව අනාවරණය විය. ඉතාලි මෙන්ම ස්පාඤ්ඤ මාධ්‍ය මෙම පාපන්දු තරගය නම් කළේ ‘ගේම් සීරෝ’ එසේත් නැතිනම් වයිරසය ඇරැඹුණ තරගය යනුවෙනි.

චීනයේ වූහාන් නුවරින් ඇරැඹුණු ‘කොවිඞ් 19’ වයිරසය, ඒ වනවිට යුරෝපා රටවලට ව්‍යාප්ත වෙමින් තිබුණු අතර ආසාදිතයන් එකා දෙන්නා බැගින් වාර්තා වෙමින් තිබුණි. තරගය නැරැඹීමට එසේ පැමිණ සිටි එක් මිනිස් බෝම්බයක් එසේත් නැතිනම් ආසාදියකු නිසා  ඇසට නොපෙනෙන වයිරස විෂ බීජය රටවල් දෙකක් අඩපණ කළේ මහ පුදුමාකාර අයුරින්ය. සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ පාපන්දු තරගය නැරැඹීමට පැමිණ සිටි 50,000 කට වයිරය ආසාදනය වූ බවය. එම 50,000 දෙනාගෙන් වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම්ය.

ඉතාලියෙන් පළමු කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනා වාර්තා වූයේ ජනවාරි 31 වැනිදාය. මෙම ආසාදිතයන් දෙදෙනා චීනයේ වූහාන් නුවර සිට රෝමයට ආ චීන ජාතික සංචාරකයන් විය. ඊට සතියක් ගත වෙද්දී, තෙවැනි ආසාදිතයා වාර්තා විය. එම ආසාදිතයා ඉතාලි ජාතික තරුණයෙකි. ඒ අනුව, ඉතාලියේ පළමු ආසාදිතයා ඔහු විය. මෙම තරුණයා වූහාන් නුවර සිට ඉතාලි ආ අයෙකි. ජනවාරි 31 වැනිදා පළමු ආසාදිතයන් දෙදෙනා හමුවීමත් සමඟ ඉතාලි රජය චීනයේ වූහාන් සිට පැමිණෙන සියලු ගුවන් යානා නැවැත්වීමට කටයුතු කළේය. වයිරසය ආසාදනය වූ තරුණයා ඉතාලියට පැමිණ ඇත්තේ ඊට පෙරය.

බර්ගාමෝ අයත් ලොම්බාර්ඩි පළාතේත් කොරෝනා වයිරස ආසාදිතයන් බිහිසුණු ආකාරයට පොකුරු පිටින් වාර්තා වීමට පටන් ගත්තේ පෙබරවාරි 21 වැනිදා සිට ය. පෙබරවාරි 21 වැනිදා ආසාදතියන් 16 දෙනකු හමුවුණු අතර පෙබරවාරි 22 වැනිදා වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගියේය. මාර්තු මාසය ආරම්භ වෙද්දී ඉතාලියේ සෑම ප්‍රාන්තයකින්ම පාහේ ආසාදිතයන් හමුවන්න විය. ආසාදිතයන්ගෙන් රෝහල් පිරෙද්දී, මළසිරුරු ගොඩගැසෙද්දී ඉතාලි රජය අසරණ වීමට පටන් ගත්තේය.

ස්පාඤ්ඤයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා හමුවූයේ පසුගිය ජනවාරි 31 වැනිදාය. එම තැනැත්තා ජර්මන් සංචාරකයකු විය. එදා සිට පෙබරවාරි 24 වනතුරු කිසිදු ආසාදිතයකු ස්පාඤ්ඤයෙන් හමුවී තිබුණේ නැත. ඉතාලියේ වයිරස වසංගතයක් ආරම්භ වෙද්දී, පෙබරවාරි 24 වැනිදා ස්පාඤ්ඤයේ ද ළැව් ගින්නක් සේ වයිරසය පැතිරෙන්න විය.

මාර්තු 30 වැනිදා වනවිට ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,199 තෙක් ඉහළ ගොස් තිබුණු අතර, වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 7,500 ක් බව වාර්තා විය. මාර්තු 30 වැනිදා වනවිට ඉතාලියේ වයිරස ආසාදිතයන් ගණන 75,000 ඉක්මවා තිබුණි. පසුගිය සතිය පුරා දින පතා 600 ත් 700 ත් අතර මරණ වාර්තා විය. මාර්තු 30 වැනිදා වනවිට ඉතාලියේ මරණ ලක්ෂය ඉක්මවා තිබුණි.

‘රොයිටර්’ ඇසුරිනි


RECOMMEND POSTS