ඇලවෙලා වැඩ කරන්න කදිම මේසයක්: පුටුවක්



ලෝකයේ අප බොහෝ දෙනෙක් අද පරිගණකවලට ඇලීගැලී රැකියාවේ නියැළෙති. දිනපතා පැය ගණන් පරිගණක ඉදිරියේ අසුන්ගෙන සිටීම ඇස්වලට වෙහෙසකරය.

කායික පමණක් නොව මානසික වශයෙන් ද පීඩාවක් ගෙන දෙන්නකි. නිදිමත ගෙන එන වෙහෙසකර ක්‍රියාවකි. රාත්‍රියේ නොදැනෙන තරමට නිදිමතක් දැනෙයි. රැකියාව කරද්දී නිදිමතට අවනත විය නොහැකිය.

නිදිමත එද්දී, ඇලවෙලා වැඩ කරන්න පුළුවන්, මේ අපූරු මේසය සහ පුටුව නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ‘ඕල්ට්වර්ක්’ නමැති සමාගමය. පළමු වරට මෙම මේසය සහ පුටුව ඇතුළත් කට්ටලය හඳුන්වා දෙනු ලැබුවේ 2016 වසරේදීය.

අද 2020 වෙද්දී මේසය ‘යවත්කාලීන’ කර නව උපාංග රැසකින් ද සමන්විතව යළි හඳුන්වා දී ඇත. මේසයට සම්බන්ධ විශේෂිත පුටුව ඉලෙක්ට්‍රොනික එකකි. එය දන්ත වෛද්‍යවරයකු ළඟ ඇති පුටුවකට සමානය. පුටුව මේසය සහ සෙසු උපාංග කට්ටලය පොදුවේ හැඳින්වෙන්නේ ‘සිග්නේචර් ඩෙක්ස්’ යනුවෙනි.

2016 දී ‘සිග්නේචර් ඩෙක්ස්’ හඳුන්වා දෙනු ලැබුවේ ඇමෙරිකන් ඩොලර් 5,500 ක මුදලකටය. 2020 වසරේ හඳුන්වා ද දුන් ‘සිග්නේචර් ඩෙක්ස්’ හි මිල ඇමෙරිකන් ඩොලර් 7,600 කි. ඉලෙක්ට්‍රොනික පුටුවට සම්බන්ධ මේසයට සවි කළ සෙසු උපාංගවලට කාන්දම් එසේත් නැතිනම් චුම්බක සවි කර ඇත. ඔබට ඔබේ ලැප්ටොප් පරිගණකය, අවශ්‍ය නම් වෙනම මොනිටරයක් (කොතරම් විශාල හෝ බර හෝ වුවත් මෙය චුම්බක ආධාරයෙන් පහසුවෙන් රැඳවීම කළ හැකිය.) රවුටර්, යූ.පී.එස්. පමණක් නොව තමන්ගේ ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනය සහ වතුර බෝතලය පවා පැත්තකින් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇත.

‘පැය ගණනක් දිනපතා පරිගණකයක් ඉදිරියේ වකුටු වී, දෙපා නවා ගෙන සිටීම සිරුරට වෙහෙසකරයි. රුධිර සංසරණයට බාධා එල්ල වෙනවා. එවිට නැති ලෙඩ හැදෙනවා. කොන්දේ ආබාධ, පාදවල ආබාධ වැනි කායික ආබාධ පමණක් නොවෙයි මානසික ආබාධ පවා ඇතිවෙනවා. ඒත් මේ මේසය සහ පුටුව සම්පූර්ණයෙන් වෙනස්. සිරුර අංශක 135 ක් ඇල කෙරෙනවා. එවිට සිදුවන්නේ කිසිදු බාධාවකින් තොරව සිරුරේ රුධිර සංසරණයක් ඇතිවීමයි. එවිට පැය 8 ක් වැඩ කරනවා කීම ඉතාම පහසු දෙයක්. කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ.’යැයි ඕස්ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක ඩැරන් ලිප්නිකී පැහැදිලි කරයි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS