ආදර අන්දරයට මඟ පෑදුණු හැටි



ලෝකයාගේ වාසනාවට හෝ අවාසනාවට හෝ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2016 වසරේ පැවැත්වුණු ආන්දෝලනාත්මක ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි.

2017 වසරේ ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ලෙස රාජකාරි ඇරැඹීය. මැතිවරණ සමයේ දී ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දු අතරින් එකක් වූයේ ‘සුදුසු’ වාතාවරණයක් ගොඩ නැගුණොත් තමන් උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ නායක කිම් ජොන් උන් හමුවී සාකච්චා කර උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වන බවය.

දැන් ඒ සඳහා සුදුසු වාතාවරණයක් උදා වී ඇත. ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ මුහුණට මුහුණ හමුව, අනිද්දා (12) සිංගප්පූරුවේදී පැවැත්වෙනු ඇත.

කිම් ජොන් උන් පමණක් නොව, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද ‘නාහෙට අහන්නේ නැති’ චරිත දෙකකි. හිතට එන්නේ කුමක් වුවත් එය මූණට කීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියෙකි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුව මෙසේ පැවැත්වීමට කටයුතු යෙදුණේ දෙදෙනා එකිනෙකාට බැණ ගනිමිනි. විවේචනය කර ගනිමිනි. චෝදනා එල්ල කර ගනිමිනි. ප්‍රබල වචන හුවමාරු මැද අවසානයේ දෙදෙනා එකිනෙක හමුවීමට තීරණය කිරීම සැබැවින්ම ලෝක දේශපාලනයේ පෙරැළියකි.

මෙම සටහනට ඇතුළත් වෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකිනෙකාට දොස් නගා ගත් අයුරු සහ එම දොස් නගා නැගීමේ ස්වරූපය කෙමෙන් වෙනස් වී, දෙදෙනා අතර සුහදත්වයක් ගොඩ නැගුණු අයුරුය.

2017 අප්‍රේල් 28 වැනිදා
ඩොන්ඞ් ට්‍රම්ප් - ‘උතුරු කොරියාව සමඟ අපට ගැටෙන්න සිද්ධ වීමේ ලොකු අවදානමක් තිබෙනවා’ - රොයිටර් පුවත්පත සමඟ අදහස් දක්වමින්.

2017 වසරේ මැයි 15 වැනිදා
කිම් ජොන් උන් - ‘ඇමෙරිකාව උතුරු කොරියාව ගැටුමකට පොළොඹවා ගත්තොත්, එය ලෝක ඉතිඑාසයේ සිදුවන මහා ව්‍යසනය වේවි’ - රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකි.

2017 ජූලි 4 වැනිදා
ඩොනල්ඞ් ට්‍රම්ප් - ‘උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් කළා. මේ හාදයාට (කිම් ජොන් උන්) වෙන වැඩක් ඇත්තෙම නැද්ද මිසයිල අත්හදා බලනවා හැර’ - ටිව්ටර් පණිවුඩයකි.

2017 අගෝස්තු 8 වැනිදා
ඩොනල්ඞ් ට්‍රම්ප් - ‘උතුරු fාකාරියාව ඇමෙරිකාවට තර්ජනය කිරීමෙන් වළකින්න ඕනෑ. ලෝකයා මෙතෙක් නොදැක්ක විදියට උතුරු කොරියාවට පාඩමක් උගන්වනවා’ - මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

2017 අගෝස්තු 9 වැනිදා
උතුරු කොරියා හමුදාව - ‘ඇමෙරිකාව අපට විරුද්ධව හිතුමතේ හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නවාද ? එසේ නම්, එය ඇමෙරිකන් අධිරාජ්‍යයේ අවසානය වනු ඇත.

2017 අගෝස්තු 11 වැනිදා
ට්‍රම්ප් - ‘උතුරු කොරියාව තවත් අණුවන දෙයක් කළොත්, ඊට ප්‍රතිචාර දක්වන්න අපේ හමුදා සූදානම්’ - ට්විටර් පණිවුඩයකි.

2017 සැප්තැම්බර් 19 වැනිදා
ට්‍රම්ප් - ‘රොකට් මෑන් (රොකට් මිනිසා) දිවිනහ ගන්න සැරැසෙනවා. මිනිහා හදන්නේ එයාගේ රෙජීමය වලපල්ලට ගෙනියන්නයි. - ජගත් මහ සමුළුව අමතමින්.

2017 සැප්තැම්බර් 22 වැනිදා
කිම් ජොන් උන් - ‘බල්ලකු බය වෙලා මහ ලොකුවට බිරුවාට වැඩක් නැහැ. මානසික රෝගී ඇමෙරිකන් ජනාධිපතිට ගින්දරෙන් තමයි පාඩමක් උගන්වන්න වෙන්නේ’ - ප්‍රකාශයක් නිකුත් කරමින්.

2017 නොවැම්බර් 8 වැනිදා
ට්‍රම්ප් - ‘ඇමෙරිකාව ඉවසීම, දුර්වලකමක් හැටියටයි උතුරු කොරියාව දකින්නේ. ඒක බොහොම වැරදි වැටහීමක්. අපව කිසිම අවස්ථාවක අවතක්සේරු කරන්න එපා. අපේ ඉවසීමේ සීමාව පනින්න දෙන්නත් එපා’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

2017 නොවැම්බර් 11 වැනිදා
උතුරු කොරියා විදේශ අමත්‍යාංශය - ‘ට්‍රම්ප් වගේ පිස්සු ‘මහල්ලකු’ ට බෑ කවදාවත් අපිව බය කරන්න. අපි අපේ කටයුතු නවත්වන්නේ නැහැ’

2017 නොවැම්බර් 12 වැනිදා
ට්‍රම්ප් - ‘ඇයි කිම් ජොන් උන් මහ ‘මහල්ලා’ කියමින් අපහාස කරන්නේ ? මම කවදාවත් එයාට ‘මහතයි, කොටයි’ කියලා නැහැ. මම හුඟක් උත්සාහ ගත්තා එයාගේ යාළුවා වෙන්න. කවදා හරි දවසක අපට යාළුවෝ වෙන්න ලැබේවි.

2018 ජනවාරි 1 වැනිදා
කිම් ජොන් උන් - ‘ඇමෙරිකාව දැනගන්න ඕනෑ අපේ න්‍යෂ්ටික ආයුධවල බොත්තම තියෙන්නේ මගේ මේසේ උඩ. මුළු ඇමෙරිකාවම අළු දූවිලි කරන්න මට පුළුවන්’
- අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින්.

2018 ජනවාරි 3 වැනිදා
ට්‍රම්ප් - ‘සම්බාධකවලින් මිරිකිලා කන්න බොන්න විදියක් නැති රෙජීමයේ කවුරු හරි කෙනෙක් නුඹලාගේ නායකයාට පහදලා දෙන්න මගේ ළඟත් න්‍යෂ්ටික බොත්තමක් තියෙනවා. හැබැයි ඒක උතුරු කොරියා නායකයාගේ බොත්තමට වඩා විශාලයි. ඒ වගේමයි බොහොම හොඳින් ඒක වැඩ කරනවා’ - ට්විටර් පණිවුඩයක් හරහා.

2018 ජනවාරි 16 වැනිදා
උතුරු කොරියා රජයට සහාය පළ කරන ‘රෝඩොංග් සින්මුන්’ පුවත්පත - ‘ඇමෙරිකා ජනාධිපතිගේ අලුත් අවුරුදු පණිවුඩයෙන් පැහැදිලි වෙනවා ඇමෙරිකාව අන්ත අසරණ වෙලා. උතුරු කොරියා හමුදාවේ දියුණුව සහ ජනතාවගේ ශක්තිය ගැන ඇමෙරිකාවට අවබෝධයක් නැහැ’

2018 මාර්තු 6 වැනිදා
ට්‍රම්ප් - ‘එකිනෙකාට දොස් පවරා ගැනීම අතින් අපත් උතුරු කොරියාවත් අතරේ හොඳ සම්බන්ධයක් ගොඩ නැගිලා තියෙනවා’ - මාධ්‍යවේදීන් හමුවෙමින්.

2018 අප්‍රේල් 20 වැනිදා
කිම් ජොන් උන් - ‘අප්‍රේල් 21 වැනිදා සිට, උතුරු කොරියාව සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් නවත්වනවා’ - ප්‍රකාශයක් කරමින්.

2018 අප්‍රේල් 29 වැනිදා
ඇමෙරිකා ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් - ‘2003 2004 කාලයේ ලිබියාවට ආදේශ කළ ලිබියානු මොඩලය උතුරු කොරියාවට ආදේශ කරන්න පුළුවන්’ - සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

2018 මැයි 10 වැනිදා
ට්‍රම්ප් - ‘කවුරුත් පුලපුලා බලා සිටි කිම් ජොන් උන් සහ මම අතරේ පැවැත්වෙන හමුව, ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වෙනු ඇත. ලෝක සාමය වෙනුවෙන් මෙය අප දෙදෙනාටම වැදගත් අවස්ථාවක් වනු ඇත.’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

2018 මැයි 12 වැනිදා
ට්‍රම්ප් - ‘උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන ස්ථාන වසා දැමීමට තීරණය කළා. ඒක බොහොම හොඳ පෙරනිමිත්තක්. 12 වැනිදා පැවැත්වෙන සමුළුව ඓතිහාසික එකක් වේවි.’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

2018 මැයි 15 වැනිදා
උතුරු කොරියා විදේශ අමත්‍යාංශය - ‘උතුරු කොරියාවට ලිබියා මොඩියුලය ආදේශ කරනවා යැයි පවසමින් උතුරු කොරියාව සහ ලිබියාව සන්සන්දනය කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඇමෙරිකාව අපට බලපෑම් කරනවා නම්, න්‍යෂ්ටික කටයුතු අත්හරින්න, සාකච්ඡා සිද්ධ වෙන්නේ නැහැ.’

2018 මැයි 21 වැනිදා
ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් - ‘උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන කටයුතු අවසන් කරාවි යැයි අපි බලපොරොත්තු වෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන් හිතන් ඉන්නවා නම්, බොරුවක් කරලා ට්‍රම්ප් රටට්ටන්න, ඒක ලොකු වැරදීමක්’ - ෆොක්ස් පුවත් සේවය සමඟ අදහස් දක්වමින්.

2018 මැයි 23 වැනිදා
උතුරු කොරියා නියෝජ්‍ය විදේශ ඇමැති චෝ සොන් හූයි - ‘ඇමෙරිකා උප ජනාධිපතිවරයා මෙවැනි පහත් මෝඩ කතාවක් කීම පුදුමයක් නොවෙයි.’

2018 මැයි 24 වැනිදා
උතුරු කොරියා විදේශ අමත්‍යාංශය - ‘සමුළුව කඩාකප්පල් කරන්න බොහෝ දෙනා බොහෝ දේවල් කියනවා. ඒත් අපේ අරමුණ පැහැදිලියි. කොරියා අර්්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කරන්න අප කැමතියි. මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් අප කැපවෙනවා. සාමය වෙනුවෙන් අප හැමදේම කරනවා’

2018 මැයි 24 වැනිදා
ට්‍රම්ප් - ‘උතුරු කොරියාවෙන් දිගින් දිගටම එදිරිවාදිකම් එල්ල වෙන බවක් පෙනෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ, සමුළුව පැවැත්වෙන්නේ නැහැ.’ - ධවල මන්දිරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

2018 මැයි 25 වැනිදා
ට්‍රම්ප් - ‘සුබ ආරංචියක්. සමුළුව පවත්වන්න උතුරු කොරියාව අවංකව කැප වෙලා සිටින බව පෙනෙනවා. සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් දිගු ඉදිරි ගමනක් යන්න අපට හැකිවේවි. මොකද වෙන්නේ කියලා බලමු.’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

2018 මැයි 26 වැනිදා
ට්‍රම්ප් - ‘උතුරු කොරියාවන් සමඟ පැවැත් වූ කතාබහ සාර්ථකයි. කලින් සඳහන් කළ පරිදි නියමිත දිනයට සිංගප්පූරුවේදී හමුව පැවැත්වෙනවා. උතුරු කොරියාවට ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව නැගී සිටින්න අප උදවු කරන්න සූදානම්. කිම් ජොන් උන් මගේ අදහසට කැමැතියි. සමුළුව නියමිත පරිදි පැවැත්වෙනවා.’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

ජූනි 5 වැනිදා, 2018
ට්‍රම්ප් - ‘උතුරු කොරියා නායකයා සමඟ සිංගප්පූරුවේ පැවැත්වෙන හමුව මහා පෙරැළියක ආරම්භය වේවි. මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ.’ - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

 


RECOMMEND POSTS