අසල්වැසියා ගැන කනස්සල්ලෙන්



කලාපය තුළ ඉන්දියාවේ දිගුකාලීන ලැදියාවන් සහ අභිලාෂ සැලකිල්ලට ගැනීමේදී එක් පැත්තකට හෝ අනෙක් පැත්තට හෝ සහාය පළ කිරීම ඉන්දියාවට හිතකර නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ සිදු වූ විස්මයජනක සහ නාට්‍යමය සිදුවීම් කිහිපය නිසා ඉන්දියාවට තමන්ට ඇති විකල්ප කෙරෙහි විපරම් සහිතව අවධානය යොමු කිරීමට සිදුව ඇත. ඊට හේතු කිහිපයක්ම ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ එසේ සිදු වුවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනතෙක් මෙම සිදුවීම් කිසිවක් ප්‍රකාශ කර නැත. (‘ද හින්දු’ වෙබ් අඩවියේ මෙම ලිපිය පළ වනවිට ඉන්දියාව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොතිබිණි). ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලනික ජවනිකා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට ඔවුන් ඉක්මන් වූයේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ සෙල්ලමක් කරගන්නට දී ඉන්දියාව පැත්තකට වී බලා සිටී.
අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම අගමැති නිල නිවස වන ‘අරලිය ගහ මන්දිරය’ අත්පත් කරගැනීමේ සටනක නිරත වී සිටිති. අවසන් ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ ශක්තිය පෙන්වීමෙන් පමණි.

පැවැති කොංග්‍රසය ප්‍රමුඛ ආණ්ඩුව 2012 වසරේදී මොහොමඞ් වහීඞ්ට සුබ පැතුම් එක් කළේය. වහීඞ්, ජනාධිපති මොහොමඞ් නෂීඞ් කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරමින් බලය අල්ලා ගත්තේය. කොංග්‍රසය වහීඞ්ට සුබ පැතුම් එක් කළ ද ඔවුන්ට ඔවුන්ගේ තීරණයේ දිගටම සිටීමට නොහැකි විය.  

වහීඞ් ප්‍රමුඛ ආණ්ඩුව පිළිගන්නැයි නෂීඞ් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගෙන් ඉල්ලා සිටි බව නෂීඞ් පසුව පැහැදිලි කළේය. ඒ නිසා එහි ගැටලුවක් නැතැයි කිව හැක. එහෙත් වර්ධනය වෙමින් තිබෙන තත්ත්වයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉන්දියාව එම අවස්ථාවේදී ඉක්මන් විය. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී යන අවස්ථාවක ඉන්දියාව ඉක්මන් වෙමින් ගන්නා ලද එම තීරණය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එවැනි තීරණයක් ගනු ඇතැයි සිතිය නොහැක. එය නුවණට හුරු නොවේ. ඉන්දියාව එකම අත්වැරැද්දම නැවතත් කරනු ඇතැයි සිතිය නොහැක.

පසුගිය සති කිහිපයේදී ම ශ්‍රී ලංකාව එරට අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඉන්දියාව ඈඳා ගැනීම මෝදි ආණ්ඩුවේ නොසතුටට ද හේතු වී ඇත. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබුණේ ඔක්තෝබර් 14 වැනිදා පැවැති සුප්‍රකට කැබිනට් හමුවේදීය. එහිදි තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට ඉන්දියාවේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය (රෝ සංවිධානය) සම්බන්ධ යැයි චෝදනාවක් ද එල්ල කළේය. එම කැබිනට් හමුවේදීම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කළ යුතු යැයි වික්‍රමසිංහ මහතා තර්ක කළේය. ඔහු දිගින් දිගටම එම ස්ථාවරයේ සිටියේය. නායකයන් දෙදෙනාම ඔවුන්ගේ කරුණු කාරණා හා සිදුවීම්වලට ඉන්දියාව සම්බන්ධ කරගැනීමත් ඒවාට ඉන්දීය කෝණයකින් පිවිසීමත් කාලයක සිට සිදු කළහ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඇතුළුව ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඒවා නිවේදනය කිරීම සඳහා 2017 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාව බලා ගියේය. වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් පැය කිහිපයකට පසු අදාළ ගිවිසුම් අත්සන් කළ යුත්තේ ආර්ථික සහයෝගීතාව පිළිබඳව පුළුල් අවබෝධතා ගිවිසුමකට එළැඹීමෙන් පසුව යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී ඉන්දියාවට ගොස් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. අවබෝධතා ගිවිසුම යටතේ ඉන්දීය ආධාර ඇතිව කෙරෙන සංවර්ධන කටයුතු ප්‍රමාද වීමට හේතුව මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රමාදය පිළිබඳව අගමැති මෝදි කෝපයටත්, ‘කනගාටුවටත්’ පත්ව ඇතැයි සඳහන්ව තිබූ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඊට වගකිව යුතු නැතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යැයි ද එම නිවේදනයේ සඳහන්ව තිබිණි.
සිරිසේන මහතා මෝදි මහතාට දුරකතන ඇමතුමක් දෙන්නට දින කිහිපයකට පෙර නායකයන් දෙදෙනා කැබිනට් මණ්ඩලයේ බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු හිසා දෙපසට වනමින් එය ප්‍රතික්ෂේප කළ අතර ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදන හෝ අදහස් දැක්වීමක් නොකිරීමට වග බලාගත්හ. එය අභ්‍යන්තර දේශපාලන ගැටුමක් බවත් ඉන්දියාවට එහි කොටස්කරුවකු වීමට අවශ්‍ය නැති බවත් ඔවුහු පෞද්ගලිකවම පැවැසූහ.

ඉන්දියාවේ ‘ශක්තිමත් අසල්වැසියන්’ ප්‍රතිපත්තිය

මෝදි ආණ්ඩුව මෙලෙස නිහඬව සිටීම ඔවුන් පසුගිය වසර කිහිපයේදී අනුගමනය කළ ‘ශක්තිමත් අසල්වැසියන්’ ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකි. ඇතැම් විටක මෙම නිහඬතාව අත්වැරැද්දක් බවට පත්වීමේ ඉඩක් දැන් ඇති වී තිබේ.  මීට වසරකට පෙර එනම් 2014 වසරේදී චීනයට අයත් සබ්මැරීන කොළඹ වරායට පැමිණීමට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය ආණ්ඩුව මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද ඊට විරෝධයක් එල්ල විය. මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ජනවාරියේදී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අවස්ථාවේදී උපායමාර්ගික නායකත්වය තරමක් ආඩම්බර වූ බව ද අමතක නොකළ යුතුය.

මාලදිවයිනේ තත්ත්වය මීට වඩා නොවෙනස් වන්නේ නැත. මාලදිවියිනේ ජනාධිපති යමීන් ඉන්දියාවට නිරන්තරයෙන් චෝදනා කළ අතර ඉන්දියාව එරට අභ්‍යන්තර කටයුතුවලද මැදිහත් වීමට උත්සාහ කරන බවට ද චෝදනා කළේය. අග්‍රාමාත්‍ය මෝදි 2015 වසරේ මාර්තු මාසයේදී මාලදිවයිනේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටි අතර ජනාධිපති නෂීඞ් සිරගත කිරීමට විරෝධය පළ කරමින් මෝදි අගමැතිවරයා එම සංචාරය අවලංගු කළේය. එයත් සමඟ ජනාධිපති යමීන් ඉන්දියාවට තවදුරටත් චෝදනා කරන්නට විය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස ද ඉන්දියාව මාලදිවයිනට බල කළේය. ඉන්දියාව දෙවරක් තමන් ධුරයෙන් පහ කිරීමට උත්සාහ කළේ යැයි නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි ද ද එක් අවස්ථාවකදී ඉන්දියාවට චෝදනා කළේය. බංග්ලාදේශයෙන් ද ඉන්දියාවට චෝදනා එල්ල වී තිබේ. ඉන්දියාව ෂීක් හසීනා ආණ්ඩුව සමඟ විවෘත සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් ආණ්ඩුව සහ ඉන්දියාව මැතිවරණවලට මැදිහත් විය හැකි අයුරින් ගිවිසුමක් අත්සන් කර ඇතැයි ද එරට විපක්ෂය වන බී.එන්.පී පක්ෂය ඉන්දියාවට චෝදනා එල්ල කළේය.

ඉන්දියාව අසල්වැසි රටවල සිදුවන දේශපාලන සිදුවීම්වල ගෞරවය ගැනීම හෝ දෝෂාරෝපණයට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. එහෙත් කාලයත් සමඟ ඉන්දියාවේ “අසල්වැසියන් මුලින්” ප්‍රතිපත්තියට එය හිතකර නොවේ. නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු එරට විදේශ ප්‍රතිපත්තියට මුල් තැනක් දුන් අතර ‘අසල්වැසියන් ප්‍රථමයෙන්’ යන්නට විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛත්වයක් දීමට පියවර ගත්තේය. ‘සාර්ක් කලාපය’ (කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ සාමාජික රටවල් සිටින කලාපය) තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භූමිකාව ද මේ වනවිට විවේචනයට ලක්ව අ ැත. කෙසේ නමුත් මෙම දේශපාලන සිදුවීම්වලදී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවල දේශපාලන සිදුවීම්වලදී එක් පැත්තක් ගැනීම කලාපය තුළ ඉන්දියාවේ දීර්ඝ කාලීන ලැදිකම් හා අභිලාෂවලට හිතකර නොවේ.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියාව අතර සබඳතා ද හිතකර මට්ටමක නොපවතී. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අවස්ථාවේදී ඔහු ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ සංවිධානයට (රෝ සංවිධානයට)’ චෝදනා කළේය. තමන්ට එරෙහිව එකමුතු වීමට ඉන්දියාව විපක්ෂයට සහයෝගය දුන් බවත් යම් ආකාරයක මැතිවරණ අක්‍රමිකතාවක් සිදු වූ බවත් පවසමින් ඔහු රෝ සංවිධානයට චෝදනා කළේය. කෙසේ නමුත් කාලයත් සමඟ ඔහු තම රළු ප්‍රතිපත්තියෙන් ඉවත් විය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරය කළ මහින්ද රාජපක්ෂ මහතා අතීත වෙනස්කම් පසෙක තබා ඉදිරියට යා යුතු බව ද කීවේය. එම සංචාරයේදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත්වීය. මෙයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන අර්බුදයට ඉන්දීය රජය මුහුණ දී සිටින බවක් ද පෙනෙන්නට ඇත. චීන බැංකුවලින් ලබාදෙන රටවල් දුර්වල කරන ණය මත චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ සංවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඉන්දියාව පරීක්ෂාකාරී වි තිබේ. මහින්ද රාජපක්ෂ සමයේදී ආරම්භ වූ ක්‍රියාවලිය සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ද ක්‍රියාත්මක විය. චීන ණය මුදල් ශ්‍රී ලංකාව තුළට පැමිණීම නැවැත්වීමට ඉන්දියාවට හැකියාවක් ලැබුණේ නැත.

අවසාන වශයෙන් මෙසේ සඳහන් කළ යුතුය. ඉන්දියාවේ කලින් පැවැති කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලනයට ශක්තිමත් මැදිහත්වීමක් සහ වැඩි සැලකිල්ලක් දැක්වීය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට දැඩි විරෝධයක් පළ කළේය. එහෙත් වත්මන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට සැලකිය යුතු හෝ ‘එතරම්’ දැඩි හෝ බලපෑමක් සිදු කර නැත. ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ විකල්ප අතිශය හොඳ හෝ අනෙකට වඩා නරක හෝ තත්ත්වයක් නොමැති කාලයක් පැමිණ තිබේ.

මේ තත්ත්වය සහ ලෝක දේශපාලනයේ අසල්වැසි රටවල වත්මන් නාට්‍යමය දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී සහ පරෙස්සමට පියවර තැබීම දිනයේ සම්මතය බවට පත්ව තිබෙන කාලයක ඉන්දියාවට ඇති හොඳම විකල්පය වනුයේ විචක්ෂණශීලි බුද්ධියෙන් කටයුතු කිරීමය. එනම් නිර්භීතකමේ හොඳම කොටස බුද්ධිමත් වීම යන්නය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක ඉරිදා (28) දහවල් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
‘ද හින්දු’ වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ඇසුරිනි
 

 


RECOMMEND POSTS