අලුත් නසාකා රේඛා හමුවෙලා



පේරු රට අයිත් වන්නේ ලතින් ඇමෙරිකාවටය. පේරු රටේ දකුණු දෙසින් නස්කා කාන්තාරය පිහිටා ඇත. නස්කා, සහරා කාන්තාරය මෙන් වැලි පිරි එකක් නොවේ.

කර්කශ වියලි පොළවකින් යුක්තය. මේ කර්කශ පොළොව කිසියම් ආකාරයකට හාරා රේඛා නිර්මාණය කර ඇත. ක්‍රි.පූ. 500 ත් ක්‍රි.ව. 500 අතර කාලයේ දිනෙක අඟල් දෙකක් පමණ ගැඹුරු මෙම රේඛා නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි. පොළෝ මට්ටමේ සිට බලද්දී මේවා නිකම් නිකම් ඈතට විහිදෙන රේඛා පමණය.

කෙසේ නමුත් අඩි 1,500 ක් ගුවනේ සිට බලද්දී දිස්වන්නේ වෙනත් දෙයකි. නස්කා රේඛා නිර්මාණය කර ඇත්තේ විවිධ රටා අනුවය. ඒවා පෙනෙන්නේ ගුවනේ සිට බලද්දී පමණය. විවිධ සතුන්ගේ රූප නස්කා රේඛා අතර වෙයි. මේ භූමි රේඛා නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙන්නේ මෙම පළාතේ සිටි, පසුව හිටිහැටියේ කිසිදු සලකුණක් නොමැතිව අතුරුදන් වුණු නස්කා ගෝත්‍රිකයන් යැයි පැවැසෙයි.

අහසින් යෑම ගැන සිහිනෙකිවත් නොසිතූ යුගයක, නස්කා ගෝත්‍රිකයන් අඩි 1,500 ක් ඉහළ අහසට පැහැදිලිව පෙනෙන රේඛා නිර්මාණය කළේ ඇයිදැයි යන්න අබිරහසකි. පිටසක්වළින් ආ අමුත්තන්ට පෙනෙන්න මේ රේඛා නිර්මාණය කළේ යැයි ද පැවැසෙයි. නස්කා භූමි රේඛාවලින් පෘථිවියේ අප දකින සතුන් පමණක් නොව, අමුතු විදියේ අමුතු හැඩයේ සතුන් ද දිස්වෙයි.

පසුගිය දා භමිය ගවේෂණය කරමින් සහ උඩු ගුවනින් ගොස් අලුත් නස්කා රේඛා 143 ක් නස්කා කාන්තාරයෙන් සොයා ගැනීමට ජපනයේ යමගාටා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. ජපන් විද්‍යාඥයන් මෙම කටයුත්ත කර ඇත්තේ පේරු රජයේ ද අනුග්‍රහය යටතේය.

මෙය වසර 15 ක් තිස්සේ සිදුවන ගවේෂණයකි. භූමි සිතියම්ගත කෙරෙන චන්ද්‍රිකා ද මෙම කටයුත්තට දායක කර ගැනෙයි. කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් ද රේඛාවලින් පිලිඹිබු වන රූප තෝරා බේරා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට සහාය වෙයි. අලුතින් හමුවුණු රේඛා 143 අතරේ අමුතු හැඩයේ මානවරූප, හිස් දෙකකින් යුත් සර්පයකු පමණක් නොව මිනීමරු තල්මසකු  ද දකින්න ලැබෙන බව පැවැසෙයි.

ඒ අනුව මේ වනවිට සොයාගෙන ඇති නස්කා රේඛා ගණන 800 දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් හමුවුණා නස්කා රේඛා ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 100 ත් අතර කාලයේ නිර්මාණය කරන්න ඇති බව පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් තහවුරු වී ඇත. නස්කා රේඛා මේ අයුරින් නොනැසී ආරක්ෂිතව පවතින්නේ ඛාදනයක් සිදු නොවන නිසා යැයි පුරාවිද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS