අලුත් චන්ද්‍රයෝ 12 ක්



අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇත්තේ ග්‍රහලෝක අටකි. ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස සැලකෙන්නේ නැත. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. සෞරග්‍රහ මණ්ඩලයේ නවවැනි ග්‍රහලොවක් ඇතැයි තාරකා විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ අදහස වී ඇත.

අද ඊයේ නොව, මෙම අදහස වසර කිහිපයක් පැරැණිය. විද්‍යාඥයන් විශ්වාස කරන මෙම නවවැනි ග්‍රහයා ‘ප්ලැනට් එක්ස්’ යනුවෙන් සහ ‘නිබුරු’ යනුවෙන් නම් කෙරේ.

එය සොයා ගැනීම තාරකා විද්‍යාඥයන්ට අභියෝගයක් වී ඇත. නවවැනි ග්‍රහයකු ඇති බවත්, එම ග්‍රහයා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා වන බෘහස්පති අසල බවත් සැක කරමින්, එම නව වැනි ග්‍රහයා සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතී.

නව වැනි ග්‍රහයා කෙසේවෙතත්, එම ග්‍රහයා ගැන සොයමින් සිටියදී, තාරකා විද්‍යාඥයන්ට බෘහස්පතිට අයත් චන්ද්‍රයන් 12 දෙනකු සොයා ගැනීමට හැකිවිය. එම චන්ද්‍රයන් 12 දෙනාගෙන් එක් චන්ද්‍රයකු ඉතා සුවිශේෂී එකක් යැයි ද පැවැසෙයි.

ඒ අනුව, බෘහස්පතිගේ චන්ද්‍රයන් ගණන 79 ක් බවට පත් වෙයි. එපමණක් නොව, අප සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් ඇති ග්‍රහයා බෘහස්පති වෙයි. කලින් දකින්න නොලැබුණු මෙම චන්ද්‍රයන් 12 දෙනා සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ තාක්ෂණයේ දියුණුව මුල්කොට ගනිමිනි.

මෙම චන්ද්‍රයන් 12 දෙනා සොයා ගැනීම සිදුවූයේ පසුගිය 2017 වසරේ සිටය. ඒ සඳහා පෘථිවියේ ස්ථාපිත අති ප්‍රබල දුරේක්ෂ රැසක් යොදා ගැනීම සිදුවිය.

ඒ අතරින් ද දකුණු ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ, සෙරෝ ටොලෝලෝ ඇමෙරිකන් තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය කැපී පෙනෙයි. මෙම දුරේක්ෂයේ ඇති විශේෂත්වය වන්නේ, ඈත අඳුරු විශ්වයේ ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන සියුම් ආලෝකය පවා පහසුවෙන් හසුකර ගනීමට හැකිවීමය.

ඬේලිමේල් ඇසුරිනි.


RECOMMEND POSTS