අබිරසක් වූ සුරඟන වළලු



විද්‍යාඥයන් අන්දුන් කුන්දුන් කිරීමට සමත් වුණු අබිරහසක් අප්‍රිකා රාජ්‍යයක් වන නැමීබියාවේ දකින්න ලැබේ.

මේ ‘අබිරහස’ දකින්න ලැබෙන්නේ නැමීබියාවේ තණබිම්වලින් පිරි ශුෂ්ක කාන්තාර ප්‍රදේශයේය. තණ බිම්වල නිර්මාණය වී ඇති අපූරු රටා මෙම අබිරහසට පාදක වෙයි. මේ වෘත්තාකාරයේ මේ අපූරු නිර්මාණශීලී රටා හැඳින්වෙන්නේ ‘සුරඟන වළලු’ කියාය.

මේ වළලු මොනවාද ? දෙවියන් විසින් මවන ඒවාද ? දෙවියන් ලෙස හැඳින්වෙන්නේ පිටසක්වළින් පැමිණෙන අමුත්තන්ද ? සුරඟන වළලු මොනවා වුණත්, ඒවා අද සංචාරක ආකර්ෂණයක් වී අවසන්. දහස් ගණනින් විදෙස් සංචාරකයෝ දිනපතා මේවා බැලීමට පැමිණෙති.

නැමීබියාව පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකා මහද්වීපයේ. ඒ, ඇන්ගෝලාවටත් දකුණු අප්‍රිකා රාජ්‍යයටත් මැදිවය. නැමීබියාවේ සුරඟන වළලු දකින්න ලැබෙන්නේ නැමීබ් කාන්තාරයේය. නැමීබ් කාන්තාරය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පමණක් පිරුණු තැනක් නොවේ. කාන්තාරයක් ලෙස මෙය හැඳින්වෙන්නේ වියලි භූමි ප්‍රදේශයක් නිසාය. මෙහි තණ පිට්ටනි දකින්න ලැබේ. වළලු ඇත්තේ එම තණ පිට්ටනිවලය. වළලු ලෙස හැඳින්වෙන මෙම වෘත්තාකාරී රූ රටා, තණ කොළ අතර නිර්මාණය වී ඇත. වළලු රටාවට ඔබ්බෙන් තණ කොළවලට වඩා රටාව ඇතුළේ තණ කොළවල උස අඩුවෙයි. ඒ අනුවයි රටා නිර්මාණය වී ඇත්තේ. මේ වළලු අඩි 6 ත් 40 ත් (මීටර් 2 ත් 12 ත්) ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. මේවා සැතපුම් 1,200 ක් පුරා විහිදී පවතී

මේ වළලු නිර්මාණය වුණේ කොහොමදැයි යන්න අබිරහසකි. මේවා නිර්මාණය වුණේ කොහොමදැයි යන්න දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මවිත කිරීමට හේතුවක් විය. එහෙත් දැන්, විද්‍යාඥයෝ කණ්ඩායමක් නැමීබියාවේ බටහිර වෙරළ තීරය හරහා ගොස්, වළලු නිර්මාණය වුණේ කොහොමදැයි සොයා ලැබීම සිදු කරති. විද්‍යාඥ කණ්ඩායමට එක් වුණු ඡායාරූප ශිල්පියා තෝමස් ඩේ‍රස්ලර්ය. මෙම සටහන සමඟ පළ වන්නේ ඔහු විසින් ගනු ලැබූ ඡායාරූපය.

පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසය කරන පිරිස් සහ විද්‍යාඥයන් පවසන්නේ මේ වළලු පිටසක්වළ ජීවීන් විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කියාය. අබිරහස විසඳීමට ගිය හැම්බර්ග් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ කණ්ඩායම ‘විද්‍යාත්මක පිළිතුරක්’ සෙවීම ආරම්භ කළහ. තණ කොළ උසින් අඩුව, රටා මැවෙන ආකාරයට නිර්මාණය වන්නේ, මීතේන් වැනි ස්වභාවික වායු නිසා යැයි එම විද්‍යාඥයෝ කණ්ඩායම අනුමාන කළහ. ‘මීතේන වායු නිසා තණ කොළ මැරෙනවා. නැත්නම් ඒවා උස යෑම අඩුවෙනවා. වර්ධනය අඩාල වෙනවා. වළලු නිර්මාණය වන්නේ භූගත වායු නිසා යැයි කියන්න පුළුවන්’ යැයි හැම්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නෝර්බර්ට් ජුර්ගන්ස් පැහැදිලි කරයි.

වළලු ඡායාරූපයට නැගූ 58 හැවිරිදි තෝමස් ඩේ‍රස්ලර් ස්පාඤ්ඤ ජාතිකයෙකි. මොහු පළමුවෙන්ම මෙම වළලු දැක ඇත්තේ 2010 වසරේදීය. ඒ, සංචාරකයකු ලෙස නැමීබ් කාන්තාරයට ඉහළින් වායු බැලූනයකින් සංචාරය කරද්දීය. වළලු ගැන පුදුමයෙන් පුදුමයට පත් තෝමස් ඩේ‍රස්ලර්, විද්‍යාඥ කණ්ඩායමට එක් වුණේ වළලුවල අබිරහස විසඳීමේ අරමුණ ඇතිවයි.

විස වායුවලට අමතරව, තවත් පැහැදිලි කිරීමක් ලෙස වේයන් පෙන්වා දිය හැකි බව විද්‍යාඥ කණ්ඩායම කියති. වැලිවල වෙසෙන මෙම වේයන් නිසා වළලු නිර්මාණය වෙනවා යන අදහස විද්‍යාඥයන් පළමුවෙන්ම ඉදිරිපත් කළේ 2013 වසරේදීය. එය සත්‍යයක් විය හැකි යැයි තෝමස් ඩේ‍රස්ලර් සමඟ ගවේෂණයට එක් වුණු විද්‍යාඥයෝ ද පෙන්වා දෙති.

‘මේ වැලි වේයෝ තණ කොළ මුල් ආහාරයට ගන්නවා. නැමීබියා කාන්තාරයේ මෙම වළලු දකින්න ලැබෙන ප්‍රදේශවල ජීවත්වන එකම ජීවියා ද මෙම වැලි වේයායි.’ මහාචාර්ය නෝර්බර්ට් ජුර්ගන්ස් වැඩි දුරටත් කියා සිටී. ‘වේයන් මුල් ආහාරයට ගන්නා නිසා වැසි කාලයේ දී වැසි වතුර තණකොළවලට උරා ගන්නවා අඩුයි. එය හේතුවක් වෙනවා අපූරු රටා මැවෙන්න.’ යැයි නෝර්බර්ට් ජුර්ගන්ස් කියයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS