අපා දුක් විඳි ’කාවන්’ට නිදහස



සත්වෝද්‍යානවල කූඩු කළ සතුන් මොන තරම් දුකක් විඳිනවාදැයි අපට අවබෝධ වූයේ 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් නිරෝධායනය වෙමින් නිවෙස්වලට කොටු වෙද්දීය. වසර ගණනක් හුදෙකලා වී, දුක කියා ගැනීමට නොහැකිව සත්වෝද්‍යානයකට කොටු වුණු අලියකු එසේත් නැතිනම් හස්තියකු සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් පසුගිය දා අසන්න ලැබුණි. මේ හස්තියා 'කාවන්' ය.

'කාවන්' ට අත් වී තිබුණු ඉරණම ඛේදනීය එකකි. කාවන් සිරවී කොටු වී  සිටියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේය. 'කාවන්' අප ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලැබුණු තෑග්ගකි. 'කාවන්' බේරා ගැනීමට බොහෝ දෙනා මැදිහත් වූහ. සතුන්ට ආදරය කරන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලක්ෂ ගණනක් මැදිහත් වූහ. ඒ අතර කැපී පෙනෙන අ‍යකු ද වෙයි. ඒ, ඇමෙරිකානු ජනප්‍රිය ගායිකා ෂෙයර් ය.

1985 වසරේදී ශ්‍රී ලංකාවෙන් පාකිස්තාන රජයට ලබා දී, ඉස්ලාමාබාද් අගනුවර සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරී අයුරින් කල් ගෙවමින් සිටි 'කාවන්' හස්තියාට නිදහස ලබා දෙන්නැයි නියෝගය ලැබුණේ වෙන කාගෙන්වත් නොව පාකිස්තාන මහාධිකරණයෙනි.

ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානය බලා යද්දී, 'කාවන්' අවුරුද්දක් වයසැති හුරතල් අලි පැටියෙකි. අද 'කාවන්'ගේ වයස අවුරුදු 35 කි. 'කාවන්' 2012 වසරේ සිට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ දුක සේ තනිව ජීවත්වන බව පළමුවෙන් ලොවට වාර්තා කළේ පාකිස්තාන පුවත් සේවාය. 'කාවන්' බිත්තියක හිස ගසාගෙන සිටින ඡායාරූප ලොව කාගේත් සිත් කැලැඹීමට සමත් විය.

කූඩුවකට සීමා වුවත් 2012 වනතුරු 'කාවන්' සිටියේ තනිවම නොවෙයි. ඔහුට සහකාරියක් ලැබී තිබුණි. ඇය 'සහේලි' ය. 'සහේලි' ද පාකිස්තානයට‍ ලැබුණේ ශ්‍රී ලංකාවෙනි. 'සහේලි' ඇතින්න පාකිස්තානයට යැවුණේ 1990 දී ය. ඒත් ‍2012 දී 'සහේලි' මියෑමෙන් පසු 'කාවන්' තනිවිය. වසර 8 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව වූයේ නිසි පහසුකම් නොමැතිවය.

පාදවල විලංගු දමන ලද 'කාවන්' සත්වෝද්‍යානයේ ජීවත් වූයේ ටකරං මඩුවකය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ටකරං මඩුවක සිටි මෙම හස්තියා ඇතැම් අවස්ථාවල සෙල්සියස් අංශක 40 කට වඩා වැඩි උෂ්ණත්වයකින් දැඩි ලෙස පිඩා විඳි බවය.

ටකරං මඩුව

කාවන්ගේ නිදහස වෙනුවෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගායිකා ෂෙයර් සහ ලෙව පුරා සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතන රැසක් එක් වී විරෝධතාවක් ආරම්භ කළේය.  'කාවන්' නිදහස් කරන්නැයි පාකිස්තාන් මහාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණේ ඒ අනුවය. 'කාවන්' හස්තියාට නිදහස ලබා දෙන ලෙස පාකිස්තාන බලධාරීන්ට බලකරමින් ලක්ෂ 2 ක පිරිසකගේ අත්සන් සහිත අන්තර්ජාල පෙත්සමක් ද ඉදිරිපත් විය.

 'කාවන්' වෙනුවෙන් පෙනී සිටි පාකිස්තාන වැසියෝ

මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු අකාර් මිනල්ලා ප්‍රකාශ කළේ හස්තියාට පහසුකම් සැපයීමට සහ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

සියලු කරුණු සැලකිල්ලට ගනිමින් 'කාවන්' හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ජා කොට දින 30 ක් ඇතුළත දැනුම් දෙන ලෙස ද පාකිස්තාන මහාධිකරණය වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

කාවන් සහ ඇමෙරිකන් ගායිකා ෂෙයර්

අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය ලබාදීමත් සමග ගායිකා ෂෙයර් ඇගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ 'එය තම ජිවිතයේ වටිනාම දිනය' බවය. අධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු 'කාවන්' යළි මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන්නැයි මෙරට සත්ව හිමිකම් සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ රජයෙන් ඉල්ලීම් කරමින් සිටී.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS