අනතුරු අඟවන මුහුණු ආවරණයක්



'කොවිඩ් 19' වයිරසය අපේ ජීවිත වෙනස් කළේය. දැන් අපට අපේ දෛනික කටයුතු කිරීමට සිදු වී ඇත්තේ 'නව ජීවන රටාවකට' හුරු වෙමිනි.

නිතරම දෑත් සොදා පිරිසුදු කිරීම සහ මුහුණු ආවරණ පැලැඳීම කළ යුතු වෙයි. මුහුණු ආවරණයක් පැලැඳීමේ ඇති වාසිය නම්, 'කොවිඩ් 19' ආසාදිතයකු ඔබ අසල සිටින්නේ නම්, ඒ තැනැත්තාගේ විෂබීජ පිරි කෙළ සහ සොටු බිඳිතිවලින් ආරක්ෂා වීමටය.

ආසාදිත තැනැත්තා කිවිසුවත්, කැස්සත් මුහුණු ආවරණය ඔබ ආරක්ෂා කරනු ඇත. වෛද්‍ය මතය මෙයයි.

ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් නව තාක්ෂණය යොදා ගනිමින් මුහුණු ආවරණයක් නිපදවා ඇත. මෙම මුහුණු ආවරණයේ ඇති සන්වේදකවලට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස විෂ බීජ හඳුනා ගැනීමට හැකිවෙයි. ඒ අනුව, මෙම මුහුණු ආවරණ පැලඳ යද්දී ඉදිරියෙන් 'කොවිඩ් 19' ආසාදිතයකු සිටිනවා නම්, මුහුණු ආවරණය ඒ පිළිබඳ ඔබට අනතුරු අඟවයි.

මෙම අපූරු මුහුණු ආවරණය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ හාවඩ් සහ එම්අයිටී විශ්ව විද්‍යාලවල ඉන්ජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ එකමුතුවෙනි. නිර්මාණ කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ මහාචාර්ය ජිම් කොලින්ස්ය.

වයිරස විෂ බීජ හඳුනා ගැනීමේ විශේෂ මුහුණු ආවරණයක් නිර්මාණය කළ යුතු යැයි මහාචාර්ය ජිම් කොලින්ස්ට කල්පනා වී ඇත්තේ ඉබෝලා සහ සීකා වසංගත අතරතුරේය. 2014 දී ඒ අනුව, සැලැසුම් සකස් විය. 2016 දී මුහුණු ආවරණ වැඩසටහන ඇරැඹිණි. දැන් එය යවත්කාලීන වී ඇත්තේ 'කොවිඩ් 19' වයිරස විෂබීජ හඳුනැ ගැනීමට හැකි ලෙසිනි.

'මේ මුහුණු ආවරණය අලුත් දෙයක් නොවෙයි. මෙය අප නිර්මාණය කළේ මිට වසර කීපයකට කලින් ඉබෝලා සහ සීකා වයිරස විෂබීජවලින් සෞඛ්‍ය අංශ සාමාජිකයන් ආරක්ෂා කරන්න. ඒත් කොවිඩ් 19 දැන් අපේ ජීවිත වෙනස් කරලා. ඒ අනුව අප මුහුණු ආවරණය වෙනස් කළා. 'කොවිඩ් 19' විෂ බීජ මීටරයක් දුරදී හඳුනා ගත හැකි අයුරින්." යැයි මහාචාර්ය ජිම් කොලින්ස් පෙන්වා දෙයි.

බිස්නස් ඉන්සයිඩර් ඇසුරිනි


RECOMMEND POSTS