අඟහරු ගිය රොකට්ටුව



අඟහරු වෙත මිනිසුන් යැවීම පහසු කටයුත්තක් නොවෙයි. අඟහරු යෑමේදී අභියෝග රැසට මුහුණ දීමට සිදුවෙයි. ප්‍රධානම ගැටළුව ගගනගාමීන් අඟහරු වෙත ගෙන යෑමට ප්‍රබල රොට්ටුවක් නොතිබීමය.

අඟහරු යෑමේ පළමු අභියෝගය ලෙස සැලකෙන ප්‍රබල රොකට්ටුවක් නොතිබීමේ අර්බුදයට දැන් විසඳුමක් ලැබී ඇත. ඒ, ‘ස්පේස් එක්ස්’ නමැති ඇමෙරිකන් සමාගම අඟහරු වෙත මිනිසුන් රැගෙන යෑමේ අරමුණ ඇතිව, රොකට්ටුවක් නිර්මාණය කිරීමත් සමඟය. සඳ තරණය කළාක් මෙන්, අඟහරු ද තරණය කිරීමට ඇමෙරිකානු නාසා ආයතනය සැරැසෙයි. ඒ, පෞද්ගලික අංශයේ ද සහාය ඇතිවය. කෙසේ නමුත් අඟහරු වෙත මිනිසකු යැවීම සිදුවනු ඇත්තේ අද හෙට නොව 2035 වසරෙන් පසුවය.

ගගන යානා නිර්මාණයේ ඉහළ තැනක සිටින ඇමෙරිකානු ‘ස්පේස් එක්ස්’ සමාගම වසර ගණානවක් තිස්සේ සිදුකළ පර්යේෂණ සහ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ නමින් නම් කළ මෙම රොකට්ටුව නිර්මාණය විය. අවසන් අත්හදා බැලීම ලෙස රොකට්ටුව අඟහරුගේ කක්ෂයකට යැවීමට ස්පේස් එක්ස් තීරණය කළේය. එම කටයුත්ත සිදුවූයේ නාසා ආයතනයේ ද සහාය ලබා ගනිමිනි.

මිනිසා නිර්මාණය කළ ‘ලොව ප්‍රබලතම රොකට්ටුව’ යන නමින් ද හැඳින්වෙන ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ පසුගිය පෙබරවාරි 6 වැනිදා, මහා පිපිරුම් හඬක් නඟමින්, ෆ්ලොරීඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් ගුවනට විඳිනු ලැබුණි. මෙම රොකට්ටුවට සාර්ථකව අඟහරු වෙත ළං වී, එහි කක්ෂයකට පිවිසීමට හැකිවුවහොත්, මිනිසාගේ අඟහරු තරණයේ පළමු පියවර මෙය වනු ඇතැයි පැවැසෙයි.

‘ලොව ප්‍රබලතම රොකට්ටුව’ අඟහරු බලා ගියේ හිස් රොකට්ටුවක් ලෙස නොවෙයි. ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධානියා වන්නේ ඉලොන් මස්ක්ය. මස්ක්ගේ අදහසකට අනුව, ඔහුගේ පැරැණි චෙරි රතු පැහැයෙන් යුක්ත ටෙල්සා රෝඞ්ස්ටාර් නමැති මෝටර් රථය රොකට්ටුවට පටවා යැවුණි. ඇමෙරිකන් ගගනගාමියකු ලෙස ගගන ඇඳුමකින් සැරැසුණු පඹයකු සුක්කානම අසල අසුන් ගෙන සිටී. ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව, නාසා ආයතනයට අයත්, කැනවරල් තුඩුවේ ඇති ගගන මධ්‍යස්ථානයෙන් ගුවනට විදිනු ලැබුණි. මෙය ඇමෙරිකානු අභ්‍යවකාශ තරණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැළකෙයි.

‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ යෝධ රොකට්ටුව අති ප්‍රබල ඇන්ජින් 27 කින් සමන්විතය. මහා පිපිරුම් හඬක් නංවමින්, රොකට්ටුව නිල් පැහැ පැහැදිලි අහස පසාරු කර ගනිමින් උඩු ගුවනට ගමන් කරද්දී, ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිලීපීන් පමණක් නොව, නාසා නිලධාරීහු පවා ප්‍රීතියට පත්ව ඔල්වසරදන් දෙන්න වූහ. ‘හිතුවාටත් වඩා වැඬේ සාර්ථකයි. හිතුවාටත් වඩා සාර්ථකයි’ යැයි රැස්ව සිටි පිරිස අතර සිටි අයෙක් කෑ කෝ ගසන්න විය. ඒ, වෙන කවුරුත් නොවෙයි. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්ව සිටි කෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ය. මීට දශක හතරකට පෙර, ඇපලෝ මෙහෙයුම යටතේ ඇපලෝ 11 යානය රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත වූයේ ද කැනවරල් තුඩුවේ පිහිටි මෙම ගගන මධ්‍යස්ථානයෙන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව දෙවැනි වන්නේ ‘යුනයිටඞ් ලොන්ච් ඇලියොන්ස්’ සමාගම නිර්මාණය කර ඇති ‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවට යැයි ද නාසා පවසයි. ‘ස්පේස් එක්ස්’ සමාගම සේම, පෞද්ගලික අංශයේ ඉදිරියෙන් සිටින සමාගමක් ලෙස සැළකෙන්නේ ඇමෙරිකානු ‘යුනයිටඞ් ලොන්ච් ඇලියොන්ස්’ සමාගමය. මොවුන් ද නාසා සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.

‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවට වඩා, ඉතාමත් අඩු වියදමකින්, ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ ගුවන්ගත කිරීමට හැකි බව නාසා කියයි. එක් ගුවන් ගමනක් සඳහා ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ සඳහා වැය වන්නේ ඇමෙරිකන් ඩොලර් 90 ක් වන අතර, ‘ඩෙල්ටා 4 හෙවි’ සඳහා ඩොලර් මිලියන 350 ක් වැය වෙයි. ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ අත්හදා බැලීමේ මට්ටමේ පවතින අතර ‘ඩෙල්ටා 4 හෙවි’ දැනටමත් නාසා ආයතනය විසින් භාවිතයට ගැනීම සිදු කරයි. දැනට භාවිතයේ පවතින විශාලතම මෙන්ම ප්‍රබලතම රොකට්ටුව ‘ඩෙල්ටා 4 හෙවි’ රොකට්ටුවය. ගගනගාමීන් සඳට රැගෙන ගිය සහ බඩු බාහිරාදිය අභ්‍යවකාශයට රැගෙන ගිය ‘සැටර්න් වී’ රොකට්ටුව ද නාසා ආයතනය විසින් භාවිතයට ගනු ලැබූ අති ප්‍රබල රොකට්ටුවකි. 1987 සහ 88 වර්ෂවලදී සෝවියට් රුසියානුවන් භාවිතයට ගත් ‘එනර්ජියා’ රොකට්ටුව ද මේ හා සමානව ප්‍රබල රොකට්ටුවක් ලෙස හඳුන්වා දිය හැකිය.

‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව ඇත්තටම නම්, කුඩා ප්‍රමාණයේ ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටු තුනක් එක් කිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. එය ප්‍රබලත්වයෙන් වැඩි වෙන්නේ ඇන්ජින් 27 ක් අන්තර්ගත වන නිසාය. රොකට්ටුවේ උස මීටර් 70 කි. අඩි 230 කි. මෙට්රික් ටොන් 64 ක් එනම් රාත්තල් 141,00 ක් පහසුවෙන් උඩු ගුවනට රැගෙන යා හැකි රොකට්ටුවක් ලෙස මෙය සැළකෙයි.

ඒ.එෆ්.පී. ඇසුරිනි

 


RECOMMEND POSTS