අකුරට ගිය නිවුන් පැටවු 7 දෙනා



නිවුන් දරු පැටවුන් සත් දෙනකු එකම දිනක එකම පාසලේ අකුරු කරන්නට ගිය පුවතක් පසුගියදා වාර්තා විය. ඒ කෑගල්ල ශාන්ත මරියා විදුහලෙනි. එම විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ට මුලින්ම පන්ති ඇරඹුණේ ඉකුත් 15 වැනිදාය.

එදින කුළුඳුලේ පාසල් පැමිණ සිටි දරුවන් අතර මෙම දරුවන් හත්දෙනා විශේෂ අවදානයක් හිමිකරගෙන තිබිණි. මේ වන විට රටේම අවධානය දිනා ගෙන සිටින මෙම දරුවන් හත් දෙනා අයත් වන්නේ පවුල් තුනකටය. ඔවුන්ගෙන් තිදෙනකු එකම පවුලක දරුවන් වන අතර අනිත් සිවුදෙනා වෙනත් පවුල් දෙකකය. ශාන්ත මරියා විදුහල් ඉතිහාසයේ මෙන්ම මෙරට පාසල් ඉතිහාසයේ නිවුන් දරුවන් සත් දෙනෙකු එක වර පාසලකට ඇතුලත් වූ පළමු අවස්ථාවද මෙය ලෙස සැලකේ.

ඩබ්ලිව්. නෙතුන් මෙත්දිනු මුණසිංහ, ඩබ්ලිව්. විදුන් වින්දිනු මුණසිංහ, ඩබ්ලිව්. සිතුන් නෙත්දිනු මුණසිංහ එදින පාසල් පැමිණි තුන් නිවුන් දරුවන් වන අතර කෑගල්ල, කළුගල්ලේ පදිංචි කේ.එම්.ඩී. සාලිකා සම්මානනි. කොස්ගල්ලන (36) ඩබ්ලිව්. තිවංක මහේෂ් මුණසිංහ (38) ඔවුන්ගේ දෙමාපියන්ය. වෑකුඹුර, බෙලිගල ලසන්ති ලලනි (36) සහ එල්.ආර්. ලියනගේ (38) යුවලගේ එල්, යෙතුල සස්විඳු ලියනගේ සහ එල්. මෙතුල සස්මිර ලියනගේ යන පුතුන් දෙදෙනා සහ සී.එම්.සී. මහදාන ආරච්චි (40) හා සම්පත් තුෂාර (41) යුවලගේ එච්.එම්.ඩී. සෙනුන සියොන් සහ එච්.එම්.ඩී. සෙනුශ ඩිලන් එදින පාසල් දිවිය ආරම්භ කළ අනෙක් නිවුන් දරුවන්ය.

එක්වර දරුවන් කිහිප දෙනකු ලබන්නට හැකිවීම වාසනාවක් වුවත් ඔවුන් ඇතිදැඩි කිරීම පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිවයුතු ‍නොවේ. විශේෂයෙන්ම සම වයසේ දරුවන් කිහිපදෙනෙකු කුඩා වයසේදී පාසල් යන්නට සූදානම් කිරීම තරමක් අසීරු කටයුත්තකි. එක දරුවකුට නොව දෙතුන් දෙනකුට එකවර ඇඳුම් ඇන්දවීම, ආහාර ලබාදීම කළ යුතුය. නමුත් දෙමාපියන්ට දරුවන් අමිල සම්පතක් නිසාම ඔවුන්ට එය වෙහෙසක් සේ නොදැනෙනවා වන්නට ඇත.

තුන් නිවුන් දරුවන්ගේ මව වන කෑගල්ලේ කළුගල්ලේ කේ.එම්.ඩී. සාලිකා සම්මානි කෑගල්ල මහ රෝහලේ රසායනාගාර තාක්ෂණික නිලධාරිනියකි. එම දරුවන් උපත ලැබුවේ 2015 දෙසැම්බර් 16 වැනිදා කොළඹ කාසල් මහ රෝහලේදීය.

ඔවුන්ගෙන් වැඩිමලා නෙතුන් මෙත්දිනුය, දෙවැන්නා විදුන් වින්දිනු වන අතර බාලයා සිතුන් නෙත්දිනුය. දරුවන් කුඩා කල සිට ඔවුන් රැක බලගැනීමට තම මව හා පියා‍ගෙන් විසල් සහයක් ලැබුණු බව සාලිකා පවසයි.

''උදේ ඉස්කෝලෙ යන්න දරුවන්ට ඇඳුම් මැදලා දුන්නාම ඔවුන් ඇඳ ගන්නවා. තුන් දෙනාම උදේට කන්නේ බත්. ඒ නිසා එකට තියලා තුන්දෙනාට කවනවා. කන්න අකැමැති නම් කෑම පෙට්ටියක දමලා දෙනවා. දුන්නාම ඒ තුන්දෙනා කාර් ඒකේ යන අතරේ කනවා.

දරුවන් තුන්දෙනා හරි සමගියි. මෙයාලාගේ අයියා නෙතුන් අනිත් දෙන්නා බලා ගන්නවා. නෙතුන් කෑමට කලින් මල්ලිලාගේ කෝප්ප සෝදලා වතුර ගෙනත් මේසය උඩ තියනවා. තුන්දෙනා පුංචි රණ්ඩු වෙනවා. නමුත් කවදාවත් කවුරුවත් පාවා දෙන්නේ නැහැ. නිදියන්නේ කෑම කන්නේ නාන්නේ එකට. මෙයාලගෙන් එක් කෙනකුට ලෙඩක් හැදුණොත් අනිත් දෙන්නා සංවේදී වෙනවා. ඒ වාගේම අපිට ලෙඩක් හැදුණොත් එයාලා දුක් වෙනවා. දෙමාපියන්ට වාගේම අපේ අම්මලා තාත්තාලටත් ගොඩක් ආදරෙයි." ඇය කීවාය.

තිදෙනාගේ පෙනුම බොහෝ දුරට එක සමාන නිසා කුඩා කල ඔවුන් හඳුනාගැනීම අපහසු වූ අවස්ථාද තිබූ බව සාලිකා පැවසුවාය. නමුත් මේ වන විට දෙමාපියන්ට මෙන්ම සීයාට ආච්චිට ඔවුන් වෙන්කර හඳුනාගැනීමට හැකි වී තිබේ. මේ තිදෙනාගේම අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරුන්වීමය.

වෑකුඹුර, බෙලිගල ලසන්ති ලලනි සහ එල්.ආර්. ලියනගේ යන මවුපියන්ට දාව උපන් යෙතුල සස්විඳු සහ මෙතුල සස්මිරට වැඩිමහල් සොහොයුරකු ද සිටී. ලසන්ති සේවය කරන්නේ කෑගල්ල මහ රෝහලේය. ඔවුන් උපත ලැබුවේ කෑගල්ල මහ රෝහලේදීය.

''මගේ අයියාටත් දුවෙක් හා පුතෙක් ලෙස නිවුන් දරුවන් ඉන්නවා. මගේ නිවුන් පුතුන් දෙන්නා තනිවම සෙල්ලම් කරමින් ඉන්න කැමතියි. අයියාට මල්ලි හරි ආදරෙයි. කෑම බෙදලා දෙනවා. ලොකු පුතා ගෙදරදි පාසල් ගීතය කියන නිසා මේ දෙන්නාටත් දැන් පාසල් ගීතය පාඩම්. දරුවෝ දෙන්නාම එක වාගේ. හඳුනා ගැනීම ටිකක් අමාරුයි. පොඩි පුතාගේ හිසේ සුළි දෙකක් තියෙනවා. ලොකු පුතාගේ තොලේ ලපයක් තියෙනවා." 

යෙතුලගේ අනාගත බලාපොරොත්තුව හමුදා නිලධාරියෙකුවීම වන අතර මෙතුල‍‍ගේ බලාපොරොත්තුව වෛද්‍යවරයකුවීමය.

සෙනුන සියොන් සහ එච්.එම්.ඩී. සෙනුශ ඩිලන්ගේ මව වන සී.එම්.සී. මහදාන ආරච්චි රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර පියා වන සම්පත් තුෂාර ව්‍යාපාරිකයෙකි. ඔවුන්ට මෙම දරුවන්ට අමතරව දියණියක හා පුතකු සිටී.

''මේ දෙන්නාත් කෑම කන්නේ බොන්නේ නිදියන්නේ එකටයි. දෙන්නාගෙන් බාල පුතා ටිකක් දඟයි. එයා වාහනවලට කැමැතියි. දෙන්නාම පොත් පත් වැඩ කරන්නත් කැමැතියි. මල්ලි කරන්නේ සෙල්ලම් වාහන ගලවලා හයි කරන වැඩ. දෙන්නාම සංචාරය කරන්න කැමැතියි වැඩියෙන්ම යන්න කැමති නුවරඑළියේ."

මෙම නිවුන් දරුවන් හත් දෙනා ශාන්ත මරියාවේ ඉගෙනුම ලබන්නේ පන්ති තුනකය. ඒ එකම පවුලේ නිවුන් දරුවන් එක් පන්තියකට වැටෙන අයුරිනි. ඩී.එල්. නිල්මිණි සංජීවනී, රසිකා ප්‍රියංගනී, ඒ.බී.ආර්.එස්. සිල්වා එම පන්ති භාර ගුරුවරියෝ වෙති.

මෙම නිවුන් දරුවන් එකිනෙකාගෙන් වෙන් නොකර එකම පන්තියකට ඇතුළත් කිරීමට විදුහල්පති ඩබ්ලිව්.එම්. සමන් ඉන්ද්‍රජිත් මහතා පියවර ගගෙන ඇත්තේ මවුකුසින් බිහි වූ දා පටන් එකට සිටි ඔවුන් වෙන්නොකළ යුතු යැයි සිතමිනි.  මෙම දරුවන් අනාගතයේ රටට වැඩදායී දරුවන් බවට පත්වීම අපේ පැතුමයි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS