1,000 කට සීමා වූ හජ් වන්දනාව



ලොව විශාලතම ජනතා ඒකරාශීවීමක් ලෙස, හජ් වන්දනාව සඳහා සෞදියේ මක්කම ශුද්ධ නගරයට එක්රොක් වන බැතිමතුන් සැලකිය හැකිය. පසුගිය 2019 වසරේ හජ් වන්දනාවට සහභාගී වූ දෙස් විදෙස් ඉස්ලාමීය බැතිමතුන් ගණන මිලියන 2.5 ඉක්මවීය.

ලොවටම වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සෞදි අරාබියට ද තර්ජනයක් වී හමාරය. සෞදියෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,61,000 ඉක්මවා ඇති අතර, මරණ 1,300 පසු කර තිබේ. සෞදි රජ පවුලේ බොහෝ දෙනකුට ද ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ, මෙම වසරේ හජ් වන්දනාව පැවැත්වීමට සෞදි රජය සූදානම් වන නමුත්, වයිරස වසංගතය හේතුවෙන්, හජ් වන්දනාව සඳහා ඉඩ ලැබෙන්නේ තෝරාගත් බැතිමතුන් 1,000 කට පමණි. විදෙස් බැතිමතුන්ට මක්කමට පැමිණීමට අවසර හිමිවන්නේ ද නැත.

‘මේ වතාවේ හජ් වන්දනාවට සහභාගී කර ගැනෙන්නේ බැතිමතුන් දහසකට පමණයි. එම සංඛ්‍යාව දහසට ටිකක් වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. කලින් අවස්ථාවලදී වගේ දස දහස් ගණනක් මිලියන ගණනක් මෙවර හජ් වන්දනාවට සහභාගී කර ගැනෙන්නේ නැහැ’ යැයි හජ් වන්දනා කටයුතු සම්බන්ධ අමාත්‍ය මොහොමද් බෙන්ටන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ පසුගිය 23 වැනිදාය.

හජ් වන්දනාව විදෙස් ඉස්ලාමීය බැතිමතුන්ට තහනම් කෙරෙන පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි. විදේශවලින් බැතිමතුන් ගෙන්වා නොගන්නා නමුත්, සෞදියේ සිටින, විදෙස් මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනාව සඳහා අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය බෙන්ටන් පෙන්වා දුන්නේය. කෙසේ නමුත්, එසේ අවසර හිමිවන සෞදියේ සිටින විදෙස් බැතිමතුන් කවුරුන්දැයි යන්න මෙතෙක් සඳහන් කර නැත.

සෑම මුස්ලිම් වැසියකුම ජීවිතයේ එක් වරක් හෝ හජ් වන්දනාවට සහභාගී විය යුතුය. ඒ සඳහා එම තැනැත්තාට කායික මානසික ශක්තිය සහ ආර්ථික ශක්තියක් තිබිය යුතුය. ඇතැම්හු ජීවිත කාලය පුරා උපයන මුදල ඉතිරි කරමින් හජ් වන්දනාවේ යෙදෙති. සෞදියේ ‘කොවිඞ් 19’ වයිරසය පැතිර යන බැවින්, මෙවර හජ් වන්දනාවට සහභාගී කර ගන්නා බැතිමතුන් කොන්දේසි කීපයකට යටත් විය යුතුය. එම කොන්දේසි පනවා ඇත්තේ සෞදි සෞඛ්‍ය බලධාරීන්ය.

හජ් වන්දනාවට මක්කට පැමිණෙන පිරිස් ‘කොවිඞ් 19’ ආසාදිතයන් ද නැද්ද යන්න සෙවීමේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරේ. වන්දනා කටයුතු අවසන් වී ආපසු නිවෙස්වලට යෑමෙන් පසු දින 14 ක් නිවසේ ස්වයං නිරෝධායනයට ද ලක් විය යුතුය. දෑත් පිරිසුදු කිරීම සහ මීටරයේ දුර ආරක්ෂා කරමින්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට සෞඛ්‍ය බලධාරීන් හජ් වන්දනාකරුවන්ට උපදෙස් ලබා දෙනු ඇත.

හෘද රෝග, ස්වසන ආබාධ වැනි රෝගී තත්ත්වයන් ඇති බැතිමතුන්ට පමණක් නොව බෝ නොවන රෝගවලට ප්‍රතිකාර ගන්නා, එම රෝගී තත්ත්වයන් ඖෂධවලින් පාලනය කර නොගත් බැතිමතුන් සිටින්නේ නම් ඔවුන්ට ද හජ් වන්දනාවට ඉඩ ලැබෙන්නේ නැත.

දින 5 කට සීමා වන මෙවර හජ් වන්දනාව, ජූලි 28 වැනිදා ආරම්භ වනු ඇති බවත් අගෝස්තු දෙවැනිදායින් අවසන් වනු ඇත. මෙවර හජ් වන්දනාවට අවසර නොලැබීම සම්බන්ධයෙන් විදෙස් මුස්ලිම් ප්‍රජාව කනස්සල්ල පළ කර ඇති නමුත් ඔවුන් පවසා ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි රජය ගත් එම වැඩපිළිවෙළට සහාය දක්වන බවත්, තමන් වෙනුවෙන් පැනැවූ තහංචිවලට ගරු කරන බවත්ය. ඉන්දුනීසියා රජය කියා සිටියේ ඔවුන් බැතිමතුන් 2,21,000 ක පිරිසක් හජ් වන්දනාවට එවීමට සූදානමින් සිටි බවය. වයිරස වසංගතය හේතුවෙන් ඉන්දුනීසියා රජය පසුගිය ජූනි 2 වැනිදා නිවේදනය කළේ තම රටින් කිසිවකුවත් හජ් වන්දනාවට එක් නොවනු ඇති බවය.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS