සිනමාවෙන් පණ ලැබූ යෝධයෝ



වසර මිලියන 65 කට පෙර අතීතයේ, මිහිමත රජ කළ බිහිසුණු දැවැන්තන් අප හඳුන්වන්නේ ‘බිහිසුණු උරගයන්’ එසේත් නැතිනම් ‘ඩයිනසෝරයන්’ යන නමිනි. පෙනුමින් උරගයන්ට සමානකම් දක්වන නිසා උරගයන් යැයි කීවත්, ඩයිනසෝරයන්ගේ ඥාතීන් කුරුල්ලන් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අද අප දකින කුරුල්ලන් ප්‍රමාණයෙන් විශාල නොවුණත්, බිහිසුණු නොවුණත්, උන්ට ඇත්තේ ඩයිනසෝරයන්ගේ ලක්ෂණය. ඩයිනසෝරයන් ගැන කතා කරද්දී, ‘ජුරාසික් පාක්’ සහ ‘ජුරාසික් වර්ල්ඞ්’ චිත්‍රපට අමතක කළ නොහැකිය. ජුරාසික් පාක් චිත්‍රපටය තිරගත වූයේ 1993 වසරේදීය. එය ස්ටීවන් ස්පිල්බර්ග්ගේ අධ්‍යක්ෂණයකි.

ජුරාසික් පාක් චිත්‍රපටයට පාදක වන්නේ, අවුරුදු මිලියන 65 කට පෙර, ඩයිනසෝරයන්ගේ ලේ උරා බී ජීවත් වුණු, පසුව ගස්වල මැලියම්වලට හසුවී සුරැකුණු, මදුරුවන්ගෙන් එම ලේ ලබා ගනිමින්, ඩී.එන්.ඒ වෙන් කර, එම ඩී.එන්.ඒ.වල ඇති අඩුපාඩු ගෙම්බන්ගේ ඩී.එන්.ඒ.වලින් සම්පූර්ණ කර ඩයිනසෝරයන් බිහි කිරීමය. ජුරාසික් පාක් චිත්‍රපටයටත්, ඉන්පසු තිරගත වුණු ‘ජුරාසික් පාර්ක් ද ලොස්ට් වර්ල්ඞ්‘ චිත්‍රපටයටත් පාදක වන්නේ ඇමෙරිකන් ප්‍රබන්ධ ගත්කතුවරයකු වන මයිකල් ක්‍රිච්ටන්ගේ නවකතාය.

දැන් ජුරාසික් පාක් චිත්‍රපට ‘ජුරාසික් වර්ල්ඞ්’ නමින් තිරගත වෙයි. 90 දශකයේ මුල් චිත්‍රපට සේම, ඩයිනසෝරයන්ගේ බිහිසුණු ස්වභාවය පෙන්වා දෙමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමටත්, 2015 වසරේ තිරගත වුණු ‘ජුරාසික් වර්ල්ඞ්’ සමත් විය. එම චිත්‍රපටයේ දෙවැන්න ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ පසුගිය 8 වැනිදා සිට ලොව පුරා මෙන්ම අප රටේ ද තිරගත වීම ආරම්භ කර තිබේ. ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ ජේ.ඒ. බයෝනාගේ අධ්‍යක්ෂණයකි. මෙහි නිෂ්පාදන කටයුත්තට ස්ටීවන් ස්පීල්බර්ග් සම්බන්ධ වී සිටී. ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ චිත්‍රපටයට පාදක වන්නේ, ජුරාසික් වර්ල්ඞ් ඩයිනසෝර උද්‍යානය පිහිටා ඇති දූපතේ ඇති නිහඬ ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑමය. ‘ජුරාසික් වර්ල්ඞ්’ පළමු චිත්‍රපටයේ ඉන්ඩොමිනස් රෙක්ස් නමැති ඩයිනසෝරයා නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් ‘ජුරාසික් වර්ල්ඞ්’ ඩයිනසෝර උද්‍යානය වසා දමා ඇත. එපමණක් නොව, දූපතේ ඇති ගිනි කන්ද පුපුරා යෑමට පෙර, දූපතේ ඩයිනසෝරයන්ගෙන් සෑම වර්ගයකින්ම එකා බැගින් බේරා ගැනීම ඩයිනසෝර උද්‍යානය බාර බලධාරීන්ගේ අරමුණ වෙයි. වසා දැමුණු ජුරාසික් වර්ල්ඞ් ඩයිනසෝර උද්‍යානයේ ඩයිනසෝරයන් වෙන්දේසි කිරීම ද සිදුවෙයි.

මීට පෙර ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටවල දකින්න නොලැබුණු තරමට ඩයිනසෝරයන් රැසක් මෙම චිත්‍රපටයේ දකින්න ලැබීම සුවිශේෂත්වයකි. ඒ අතර නව ඩයිනසෝරයෝ කිහිප දෙනකු ද සිටිති. වැඩිය කතාබහට ලක් නොවුණු මෙම ඩයිනසෝරයෝ, ප්‍රේක්ෂකයන්ගේ අවදානය දිනා ගැනීමට සමත් වී සිටිති. සුපුරුදු පරිදි, පළමු ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වුණු ඩයිනසෝර රජු ලෙස ටරැනසෝරස් රෙක්ස් (ටී රෙක්ස්) සහ ‘බ්ලූ’ නමැති වැලොසිරැප්ටරයා ද චිත්‍රපටයේ දකින්න ලැබෙයි. ‘රැප්ටර්’ යන ඉංග්‍රීසි වදනෙහි අර්ථය ‘හොරා’, ‘දඩයක්කාරයා’, ‘කොල්ලකාරයා’ යන්නය.  උකුස්සන්, රාජාලියන් වැනි දඩයම් කරුල්ලන්ට (ඉංග්‍රීසියෙන් බර්ඞ්ස් ඔෆ් ප්‍රේ) රැප්ටරයන් යැයි ද කියනු ලැබේ.

‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ චිත්‍රපටයේ දකින්න ලැබෙන ඇලෝසෝරස් ඩයිනසෝරයා, ටී රෙක්ස් වැනිය. කෙසේ නමුත් ටී රෙක්ස් තරම් ප්‍රමාණයෙන් විශාල නොවෙයි. නමුත් මේ ඩයිනසෝරයා වැලොසිරැප්ටරයකුට වඩා ප්‍රමාණයෙන් විශාලය. ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටවල මීට පෙර ඇලෝසෝර්ස් දකින්න ලැබුණේ නැත. මාංශභක්ෂකයකු වන ඇලෝසෝරස් මීටර් 11 ක් හෝ 12 ක් හෝ උසින් යුක්තය. බර ටොන් 4 ක් පමණ යැයි පැවැසෙයි. ඇමෙරිකාවෙන් පමණක් නොව, යුරෝපයෙන්, අප්‍රිකාවෙන් පමණක් නොව ඔස්ටේලියාවෙන් ද ඇලෝසෝරස් පොසිල අස්ථි සොයාගෙන තිබේ.

‘ස්ටිගිමෝලා’ නමැති ඩයිනසෝරයා ද ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ චිත්‍රපටයේ දකින්න ලැබෙයි. කෙසේ නමුත් ස්ටිගිමෝලා සැබෑ ඩයිනසෝරයකු ද යන්න පොසිල විද්‍යාඥයන් අතරේ සැකයක් පවතී. ප්‍රවීණ පොසිල විද්‍යාඥ ජැක් හෝනර් පෙන්වා දෙන අන්දමට ස්ටිගිමෝලා යනු පෙචිසැපලසෝරස් නමැති පසුපස ගාත්‍රා (පාද) වලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. ලොව අවසන් වරට පහළ වුණු ඩයිනසෝරයකු ලෙස ‘පෙචිසැපලසෝරස්’ හැඳින්වෙයි. ‘පෙචිසැපලසෝරස්’ යන්නෙහි අර්ථය ‘ඉතා සවිමත් හිසක් ඇත්තා’ යන්නය. පෙචිසැපලසෝරස් ඩයිනසෝරයාගේ හිස සෑදි ඇත්තේ ඉතා සවිමත් අස්ථිවලිනි. මේ සතා ඔහු ගොදුරු කර ගැනීමට පැමිණෙන ඩයිනසෝරයන්ට හිසෙන් පහර දීම සිදු කරයි. දිග මීටර් 4.5 කි. මේ ඩයිනසෝරයාගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ ඇමෙරිකාවෙනි.

‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ චිත්‍රපටයේ දකින්න ලැබෙන බිහිසුණු ඩයිනසෝරයකු වන්නේ ‘බැරියොනික්ස්’ය. අවුරුදු මිලියන 130 කට ඈත අතීතයේ ජීවත් වුණු බැරියොනික්ස් යෝධ මාංශභක්ෂකයෙකි. මීටර් 10 ක් උසය. පළමුවරට බැරියොන්කිස් ඩයිනසෝරයකුගේ නිය හමුවූයේ 1983 වසරේදී එංගලන්තයේ සරේ ප්‍රාන්තයෙනි. බර ටොන් දෙකක් පමණ යැයි පැවැසෙයි. මේ ඩයිනසෝරාගේ මහපට ඇඟිල්ල වෙනුවට ඇති යෝධ නිය සෙන්ටි මීටර් 35 කි. බැරියොන්කිස් සමාන වන්නේ ස්පයිනසෝරස් නමැති බිහිසුණු මාංශභක්ෂක ඩයිනසෝරයාටය. බැරියොන්කිස්ගේ මුව කිඹුලකුගේ මෙනි. ගංගා ඇල දොල සහ වැව් ආශ්‍රිතව මාළු අල්ලා ගෙන ආහාරයට ගනිමින් බැරියොනික්ස් ජීවත් වෙන්න ඇතැයි පොසිල විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. අතිශය ජනප්‍රිය අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ රූඩි යනුවෙන් හැඳින්වෙන නපුරු ඩයිනසෝරයා ද බැරියොනික්ස් ඩයිනසෝරයෙකි.

ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටවල මීට පෙර දකින්න නොලැබුණු ඩයිනසෝරයෙකි. කෙසේ නමුත් මයිකල් ක්‍රිච්ටන් ලියූ ලොස්ට් වර්ල්ඞ් නවකතාවේ මේ ඩයිනසෝටයා ගැන සඳහන් වෙයි. සැඟවී සිට ගොදුරු අල්ලා ගැනීමට කානෝටෝරස් ශූරයෙකි. කානෝටෝරස් පොසිල සොයා ගෙන ඇත්තේ, ආජන්ටිනාවෙන් සහ වෙනත් ලතින් ඇමෙරිකානු රටවලිනි. කානෝටෝරස් යන්නෙහි අර්ථය ‘බිහිසුණු මාංශභක්ෂකයා’ යන්නය. මුලින්ම මේ ඩයිනසෝරයාගේ පොසිල සොයාගෙන ඇත්තේ 1985 වසරේදීය.

හිසේ අං තුනක් ඇති ට්‍රයිසේරටොප්ස් නමැති ශාක භක්ෂක ඩයිනසෝර පවුලට අයත් ‘සීනෝසේරටොප්ස්’ ඩයිනසෝරයා ද ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කින්ඩම්’ චිත්‍රපටයේ දකින්න ලැබෙන සුවිශේෂී ඩයිනසෝරයෙකි. දිග මීටර් 8 ක් වන අතර, බර ටොන් තුනකි. ‘සීනෝසේරටොප්ස්’ ඩයිනසෝරයාගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ චීනයෙනි. ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයන් කැපී පෙනෙන්නේ උන්ගේ හිස වටේ ඇති යෝධ අස්ථිමය සැකිල්ල සහ සවිමත් අං හේතුවෙනි. මොවුන් ජීවත් වෙන්න ඇතැයි සැලකෙන්නේ අවුරුදු මිලියන 68 ත් 66 ත් අතර කාලයේය. උතුරු ඇමෙරිකාවෙන් පමණක් ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝර පොසිල 100 කට වැඩිය හමුවී ඇත. ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයන්ට කුරුල්ලකුගේ මෙන් හොටක් ඇත. මොවුන්ට දත් නැත. ජුරාසික් පාක් පළමු සහ දෙවැනි චිත්‍රපටවලත්, පළමු ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටයේත් ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයන් දැකිය හැකිය.

2014 වසරේ තිරගත වුණු ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටයේ නපුරා ලෙස සැලකුණේ ‘ඉන්ඩොමිනස් රෙක්ස්’ බිහිසුණු ඩයිනසෝරයාය. ‘ඉන්ඩොමිනස් රෙක්ස්’ අතීතයේ සැබෑවට ජීවත් වුණු ඩයිනසෝරයකු නොවෙයි. ඉන්ඩොමිනස් රෙක්ස් ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටය වෙනුවෙන්, එම චිත්‍රපටයට පමණක් නිර්මාණය වුණු දෙමුහුන් ඩයිනසෝරයෙකි. ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපටයට අනුව, ඉන්ජිනේරුවන් මෙම ‘ඉන්ඩොමිනස් රෙක්ස්’ නිර්මාණය කර ඇත්තේ ටී රෙක්ස් ඩයිනසෝරයන් සහ රැප්ටරයන්ගේ ජාන මුසු කරමිනි. නවතම ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයේ ද නපුරා ලෙස බිහිසුණු ඩයිනසෝරයෙකු සිටී. මේ ඩයිනසෝරයා ඉන්ඩෝරැප්ටර් යනුවෙන් හැඳින්වෙයි. ඉන්ඩෝරැප්ටරයා බිහිසුණු සත්වයෙකි. සාමාන්‍ය රැප්ටරයකුට වඩා ප්‍රමාණයෙන් විශාලය. එපමණක් නොව, ඉන්ඩෝරැප්ටර් බුද්ධිමත්ය. තියුණු දත් පමණක් නොව, තියුණු නිය මේ ඩයිනසෝරයාට ඇත. ‘ජුරාසික් වර්ල්ඞ්: ද ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයේ, ඩයිනසෝරයන් වෙන්දේසි කිරීමක් සිදුවෙයි. එම අවස්ථාවේදී ඉන්ඩෝරැප්ටර් ඩයිනසෝරයා හඳුන්වා දෙන්නේ ‘ලොව පහළ වුණු බිහිසුණු සත්වයා’ කියාය.

ජුරාසික් පාර්ක්
විකිපීඩියා ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS