සඳ ගමනට අලුත් ඇඳුම් දෙකක්



2024 දී ඇමෙරිකා නාසා ආයතනය යළිත් වරක් සඳ තරණයට සැරැසෙයි. ඒ, 1972 වසරේ ‘ඇපලෝ’ සඳ ගවේෂණ මෙහෙයුම් අවසන් වීමෙන් පසු පළමු වරටය.

‘ආටිමිස්’ යනුවෙන් නම් කළ මෙම නව චන්ද්‍ර වික්‍රමයට ගගනගාමීන් යුවලක් සම්බන්ධ කිරීම නාසා බලාපොරොත්තු වෙයි. ඒ අනුව, ගගනගාමියකු සමඟ ගගනගාමිනියක සඳට පය තබනු ඇත. පළමු වරට සඳට පය තබන එම තැනැත්තිය ‘සඳට ගිය පළමු කාන්තාව’ ලෙස ඉතිහාස ගතවනු ඇත.

පසුගිය 40 වසර පුරාවට නාසා ආයතනයේ ගගනගාමීන් පැලඳුවේ, නාසා ආයතනයේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් ඇපලෝ සඳ ගවේෂණ මෙහෙයුම සඳහා නිර්මාණය කරදුන් ගගන ඇඳුම්ය. තාක්ෂණයේ දියුණුවත් සමඟ සුළු වෙනස්කම්වලට ලක්වුවත්, නව ඇඳුම් නිර්මාණයක් සිදු නොවිණි. පසුගිය දා නාසා ආයතනය කියා සිටියේ 2024 ආටිමිස් චන්ද්‍ර මෙහෙයුමට නව ගගන ඇඳුම් දෙකක් නිර්මාණය කළ බවය.

‘ආටිමිස්’ මෙහෙයුම සඳහා ගගනගාමීන් පලඳින එම නව ගගන ඇඳුම් හඳුන්වා දීම පසුගිය දා වොෂින්ටන් අගනුවර නාසා මූලස්ථානයේදී සිදුවිය. ඒ, නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින්ගේ ප්‍රධානත්වයෙනි.

නාසා විද්‍යාඥයන් මෙම නව ගගන ඇඳුමින් සැරැසී මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියේ විලාසිතා දැක්මකට එක්වුණු නිරූපණ ශිල්පීන් මෙනි. ඔවුන් බිම දිගා වෙමින්, උස් පහත් වෙමින්, නොයෙක් නොයෙක් ඉරියව්වලින් ඇඳුම් ප්‍රදර්ශනය කරන්න වූයේ රැස්ව සිටි පිරිසට අලුත් අත්දැකීමක් ලබා දෙමිනි. ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන්, නාසා ආයතනයේ නිලධාරීන්, මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

යතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධානියා ක්‍රිස් හැන්සන් සහ ගගනගාමීන්ගේ ඇඳුම් සැලැසුම් කිරීම සහ නිර්මාණ කිරීමේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය වන එමී රොස් මෙම අවස්ථාවට එක් ව සිටියහ. ‘වසර 40 කින් අප නාසා ගගනගාමීන්ට ඇඳුමක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙයයි. ඔබට මේ දකින්න ලැබෙන්නේ නව තාක්ෂණයෙන් නව අමුද්‍රව්‍යවලින් අභ්‍යවකාශයේ පීඩනයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කළ ගගන ඇඳුම්.’ යැයි ක්‍රිස් හැන්සන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.

අලුතින් නිර්මාණය කළ ඇඳුම් කට්ටල දෙකකි. තැඹිලි පැහැයක් ගන්නා ඇඳුම ගගනගාමීන් පලඳිනු ඇත්තේ කැප්සියුලයේ සිටිද්දීය. සඳ මතට පය තබද්දී සහ ගගන සක්මන්වල නියැලීමේදී සුදු පැහැති තරමක් විශාල ගගන ඇඳුම භාවිතයට ගනු ඇත.

‘කලින් භාවිත කළ ගගන ඇඳුම් වගේ නොවෙයි. මේවා වෙනස්. සැහැල්ලුයි. ගගනගාමීන්ට මේවා පැලඳ සිටීම පහසුයි. ඔවුන්ට මේ ඇඳුම් පැලඳගෙන දුවන්න පනින්න විතරක් නොවේ ඕනෑම ක්‍රියාකාරකමක් පහසුවෙන් කිරීමට පුළුවන්. අපට ඕනෑ ගගනගාමීන් විද්‍යාඥයන් ලෙස කටයුතු කරනවා දැකීමටයි’ යැයි නාසා ආයතනයේ ගගන ඇඳුම් නිර්මාණ අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරිය එමී රොස් පැහැදිලි කළාය.

මෙම වසරේ 1969 ඇපලෝ 11 සඳ ගමනට වසර 50 ක් සැපිරුණි. පළමු සඳ ගමනට එක් වුණු ගගනගාමීන් තිදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින එඞ්වින් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් ඔවුන්ගේ පවුල්වල අය ද සමඟ ධවල මන්දිරයට පැමිණ සිටියේ, විශේෂ සැමරුමකට එක්වීමටය. නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින් ද එහි සිටියේය.

2024 දී සඳට යළි යා යුතුයැයි ට්‍රම්ප් පැවැසූ අතර, එම මෙහෙයුම කඩිනමින් ආරම්භ කර ඇතැයි ජිම් බ්‍රිඩෙන්ස්ටයින් පැවැසීය. කෙසේ නමුත් නාසා ආයතනයේ ගගනගාමීන් යොදා ගනිමින් කෙරෙන ගගන මෙහෙයුම් භාරව කටයුතු කරන කීනෙත් බෝවර්සොක්ස් පසුගිය දා ඇමෙරිකන් කොංග්‍රස කාරක සභාවක් ඉදිරියේ කියා සිටියේ, 2024 මෙහෙයුම නියමිත පරිදි කිරීමට නොහැකි වනු ඇති බවත් එය තව වසර කීපයක් කල්ගත වනු ඇති බවත්ය.

ඊට ප්‍රධානතම හේතුව ගගනගාමීන් රැගත් කැප්සියුලය උඩු ගුවනට රැගෙන යෑමට සුදුසු රොකට්ටුවක් නොතිබීමය. ඇපලෝ මෙහෙයුම් යටතේ ගගනගාමීන් රැගත් කැප්සියුල උඩු ගුවනට විඳිනු ලැබුවේ ‘ඇට්ලස් වී’ රොකට්ටුවේ ආධාරයෙනි. දැන් ‘ඇට්ලස් වී’ රොකට්ටු භාවිතයට ගැනෙන්නේ නැත. නාසා ආයතනය මේ වනවිට ප්‍රබල රොකට්ටුවක් නිර්මාණය කරමින් පවතී. ඒ, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ ය. කෙටියෙන් ‘එස්.එල්.වී.’ ලෙස හඳුන්වයි. මෙම රොකට්ටුව තවම පර්යේෂණ මට්ටමේ පවතී.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS