සඳෙන් පස් ගේන්න ගිය චීන යානය



‘කොවිඩ් 19’ කොරෝනා ජරමර මැද, චීනය ඔවුන්ගේ හපන්කම් ලොවට පෙන්වමින්, ඔවුන් විසින් ම නිපදවූ රොකට්ටුවක ආධාරයෙන්, ඔවුන් විසින් ම නිපදවූ රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීය.

ගවේෂණ යානයේ මෙහෙයුම වන්නේ, සඳට ගොස්, පස් සාම්පල ලබා ගනිමින්, යළි පෘථිවියට පැමිණීමය. සඳුගේ පස් සාම්පල ලබා ගැනීමට මේ අයුරින් රොබෝ යානයක් පිටවී ගියේ වසර 45 කට පසුවය.

පස් සාම්පල ලබා ගැනීමටත්, සඳ ගවේෂණයටත් යැවුණේ ‘චැංග්ඊ5’ රොබෝ යානයයි. පස් සාම්පල ලබා ගෙන පෘථිවියට ගෙන්වා ඒවා අධ්‍යයනය කරමින්, සඳුගේ රහස් අනාවරණය කර ගැනී චීන විද්‍යාඥයෝ සූදානමින් සිටිති.

‘චැංග්ඊ5’ යානය පෘථිවි කක්ෂයට තල්ලු කර හැරීම සිදුවූයේ චීන ඉන්ජිනේරුවන්ගේ විස්කමක් ලෙස සැලකෙන ‘ලෝන්ග් මාර්ච් 5’ අධි බලැති රොකට්ටුව ය. චීන සඳ දෙවඟන ‘චැංග්ඊ’ යන නමින් හැඳින්වෙයි. චීන චන්ද්‍ර යානය ‘චැංග්ඊ5’ යනුවෙන් නම් කර ඇත්තේ ඒ අනුවය.

පෘථිවි ගුරුත්ව බලයේ ආධාරයෙන් සඳ බලා යන ‘චැංග්ඊ’ යානය මව් යානයක් ලෙස ක්‍රියා කරයි. මෙම යානයේ තවත් යානයක් ඇත. මව් යානය සඳුගේ කක්ෂයේ රැඳී සිටින අතර, කුඩා රොබෝ යානය සඳ මත පතිත කරනු ඇත.

පස් සාම්පල රැස් කර ගැනීමෙන් අනතුරුව, මෙය යළි කක්ෂයේ රැඳී සිටින මව් යානය සමඟ එක් වෙයි.

ඉන්පසු මව් යානය පස් සාම්පල රැගෙන පෘථිවිය බලා පැමිණෙනු ඇත.

මෙහෙයුම සාර්ථක වුවහොත් සඳෙන් පස් සාම්පල රැගෙන එය තෙවැනි රට වනු ඇත්තේ චීනයයි. මීට පෙර එම වික්‍රමය කළේ ඇමෙරිකාව සහ සෝවියට් දේශයයි.

පළමුවෙන්ම සඳට මිනිසුන් යැව්වේ ඇමෙරිකාව ය. සඳ ජය ගැනීම වෙනුවෙන් ඇමෙරිකාවත් සෝවියට් සමූහාණ්ඩුවත් අතරේ තරගයක් පැවැතියේ නිරවි යුද සමයේ ය. 1969 වසරේ පළමුවෙන් සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන්ය. ඒ, ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන්පසු ‘ඇපලෝ’ මෙහෙයුම් හයකදී, 1969 සිට 1972 තෙක් කාලයේ, ගගනගාමීහු 12 දෙනකු සඳට පය තැබූහ. ඔවුන් පෘථිවිය ගෙනා චන්ද්‍ර පාෂාණ සහ පස් ප්‍රමාණය රාත්තල් 842 ක් බව පැවැසෙයි.

සඳට මිනිසකු යැවීමට නොහැකි වුවත්, 1970 දශකයේ, ‘ලූනා’ යන නමින් නම් කළ රොබෝ යානා යවමින් සඳුගේ පස් සාම්පල ගෙන ඒමට සෝවියට් විද්‍යාඥයෝ සමත් වූහ. අවසන් වරට සඳට යැවුණේ ‘ලූනා 4’ රොබෝ යානයයි. ඒ, 1976 දීය. ‘ලූනා 4’ ආපසු රැගෙන ආවේ පස් අවුන්ස 6 කි.

සඳ ගවේෂණය චීනයට ආගන්තුක නොවෙයි. චීනය පළමුවෙන් රොබෝ ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීම කළේ 2013 වසරේදීය. ඊට වසර හයකට පසු චීනය සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළේය. සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළ පළමු රට චීනයයි. මීළඟ දශකයේ චීනයත් ඇමෙරිකාවත් ස‍ඳ මතුපිට පර්යේෂණාගාර සහ නැවැම්තුම්පොළක් ඉදි කිරීමට සූදානම් වෙයි. එය චීනය සහ ඇමෙරිකාව අතර සඳ මතුපිට ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් කරන සටනක් වනු නිසැකය.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි

RECOMMEND POSTS

RELATED POSTS