ලොවම සලිත කළ බේරූට් පිපුරුම



ලෙබනනයේ බේරුට් නුවර වරායේ සිදුවුණු ඒ මහා බිහිසුණු පිපිරීම වචනයෙන් විස්තර කළ නොහැකිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෑත කලයේ සිදුවුණු දරුණුතම පිපිරීම මෙය බවය. පිපිරීමට හසුවීමෙන් මියගිය ගණන 150 කට වැඩිය. තුවාල ලැබූවන්ගේ ගණන 5,000 ඉක්මවීය. තුවාල ලැබූවන්ගෙන් 88 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ලෙබනන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෙබනනය, මැදපෙරදිග රටකි. ශ්‍රී ලංකාවේ අපට ලෙබනනය ආගන්තුක නැත. අප ශ්‍රමිකයෝ බොහෝ දෙනෙක් ලෙබනනයේ සිටිති. බේරුට් නුවර වරායේ එම මහා පිපිරීම සිදුවූයේ පෙරේදා (4) ය.

සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකි විය. පිපිරීමේ කම්පන තරංග කිලෝ මීටර් 15 කට වඩා වැඩි දුරක් රට තුළට ගමන් කළේ, නිවාස සහ ගොඩනැගිලිවල වීදුරු සුනුවිසුණු විය. පිපිරුමට නුදුරින් සියලු ගොඩනැගිලි විනාශ වී බිමට සමතලා වූයේ ඒ තුළ සිටි පිරිස් යට කරගනිමිනි. පිපිරුම සමඟ භූමිය කම්පා විය. එය රික්ටර් පරිමාණයේ ඒකක 3.5 ක් සටහන් කළේය.

දූපත් රාජ්‍යයක් වන සයිප්‍රසය පිහිටා ඇත්තේ මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර දෙසට වන්නට, ලෙබනනයේ සිට කිලෝ මීටර් 240 ක් දුරිනි. බේරුට් වරායේ පිපිරුම කෙතරම් බිහිසුණු ද කිවහොත්, සයිප්‍රස් දූපත ද එයින් දෙදරා ගියේය.

බේරුට් පිපිරීම ද පරමාණු බෝම්බ පිපිරුමකට නොදෙවැනි විය. මෙම පිපිරීම සිදුවූයේ දෙවැනි ලෝක යුද්ධයේ, ඇමෙරිකාව ජපානයේ හිරෝෂියා සහ නාගසාකී යන නගරවලට පරමාණු බෝම්බ හෙලා වසර 75 ක් ගත වෙද්දීය. පිපිරීම සිදුවුණු අවස්ථාවේ එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක මතුවිය. ඒ අනුව, චෝදනා එල්ල වූයේ අසල්වැසි ඊශ්‍රායලයට ය. ලෙබනනය ගැටෙන්නේ ඊශ්‍රායලය සමඟ ය.

ලෙබනනය ඉරාන හිතවාදී රටකි. ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය මෙන්ම අනුග්‍රහාය ද හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය යනුවෙන් කොටස් දෙකකි. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනුව හිස්බුල්ලා සන්නද්ධ අංශය ත්‍රස්ත සංවිධානයකි.

පිපිරුම ගැන දැනගත් සැණින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. ‘ඒක මහ බිහිසුණු ප්‍රහාරයක්’ යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. කෙසේ නමුත්, පුපුරා ගියේ ඇමෝනියම් නයිටේ්‍රට් ගබඩාවක් බව, ලෙබනන් රජය පැවැසීමත් සමඟ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවෙන් විපතට පත්වුණු ලෙබනන් වැසියන් වෙනුවෙන් සොව පළ කළේය. ලෙබනනය ආධාර ඉල්ලන්නේ නම්, ඒ සැණින් ලෙබනනයට ආධාර ලබා දීමට කැමැති විය.

පිපිරීමත් සමඟ සිදුවුණු මහ විනාශය අතිමහත්ය. ලෙබනන් වැසියන් පමණක් නොව, ලොව සෑම කෙනකුම පාහේ පිපිරුමෙන් සලිත විය. පිපිරුමෙන් පසු ලෙබනන් ජනාධිපති එයුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළේය. උදව් ඉල්ලුවේය. ඊට පළමුවෙන් ප්‍රතිචාර දැක්වූයේ ඉරානයයි.

‘බේරුට් ප්‍රහාරයට’ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව තරයේ කියා සිටිමින්, ඊශ්‍රායලය ලෙබනනයට මානුෂීය ආධාර ලබා දීමට කැමැත්ත පළ කළේය. එදිරිවාදිකම් පසෙකලා සෞදිය ද කියා සිටියේ ලෙබනනයට අවශ්‍ය සහාය ලබා දෙන බවය. පිපිරීමේ දසුන් දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බවත්, ලෙබනනයට අවශ්‍ය සහාය ලබා දීමට තමන් ඉදිරිපත් වන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. පිපිරීම සිදුවුණු සැණින්, ලෙබනන් උත්තරීතර ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ලෙබනන් ජනාධිපතිවරයා පියවර ගත්තේය. අනාරක්ෂිත ලෙස, ඇමෝනියම් නයිට්‍රේට් 2,750 ක් වරායේ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවත්, තරාතිරම නොබලා වරදකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

වරායේ අනාරක්ෂිතව ගබඩා කර තැබුණේ ලෙබනන් ආරක්ෂක අංශ විසින් 2013 දී අත්අඩංගුවට ගනු ලැබූ ඇමෝනියම් නයිටේ්‍රට් තොගයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ අනුව, වසර 7 කට ආසන්න කාලයක් මෙම ඇමෝනියම් නයිටේ්‍රට් තොගය කාල බෝම්බයක් ලෙස ගබඩාවේ නිහඬව බලා සිටින්න ඇත. පිපිරීම සිදුවූයේ ලෙබනනය දේශපාලනික වශයෙන් අර්බුද කීපයකට මුහුණ පා සිටිද්දීය. එයින් පළමු වැන්න වසර ගණනාවක් තිස්සේ ලෙබනනය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලනික අර්බුදයයි. එය තවත් උත්සන්න කිරීමට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවක් වී ඇත.  පිපිරුමත් සමඟ රට මුහුණ දුන් ව්‍යසනය සම්බන්ධයෙන් හදිසි විශේෂ පාර්ලිමේන්තු හමුවක් ඊයේ (5) පැවැත්විණි. සිදුවුණු නව ව්‍යසනයට මුහුණ දීමට රජයේ ‘හදිසි අරමුදලින්’ ලෙබනන් ලීරා බිලියන 100 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 66ක් ) වෙන් කෙරුණි. ඊයේ (5) සිට ලෙබනනයේ දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරුණි.

පිපිරීම සිදුවූයේ වරායේ ගිණිකෙළි කම්හලක හටගත් ගින්නක්, ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාව තෙක් පැතිරීමෙන් යැයි ලෙබනන් පුවත් සේවා වාර්තා කර තිබේ. එම ගින්න නිවා දැමීමට ගිනි නිවන භට කණ්ඩායමක් පැමිණ ඇත. වරායේ සිටි සෙසු සේවකයන් සේම, මෙම ගිනි භටයන් ද එම බිහිසුණු පිපිරීමට හසුවී ඇත. පිපිරුමෙන් පසු බේරුට් වරාය එකම අළු සහ පස් ගොඩක් පමණක් බවත්, එය වසර ගණනාවක් යනකල් යළි භාවිතයට ගැනීමට නොහැකි වනු ඇති බවත් පැවැසෙයි. වරාය සහ ඒ අවට පණ ඇති සහ පණ නැති සියල්ල සුනුවිසුණු වී ගොස් ඇතැයි එහි ගිය මාධ්‍යවේදීන්ට දැක ගැනීමට ලැබුණි.

පිපිරීමට මුල් වුණු ඇමෝනියම් නයිට්‍රේට් යනු කුමක්දැයි පැහැදිලි කළ යුතුය. ඇමෝනියම් නයිට්‍රේට් රසායනික සංයෝගයකි. කාමර උෂ්ණත්වයේ දී සහ සම්මත පීඩනයක් යටතේ එය සුදු පැහැති ස්ඵටික ස්වභාවයක් ගනී. ඇමෝනියා වායුව නයිට්‍රික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී ඇමෝනියම් නයිට්‍රේට් නිපදවා ගත හැකිය. කෘෂිකර්මාන්තයේ වැඩි නයිට්‍රජන් ප්‍රතිශතයක් ලබා දෙන පොහොරක් ලෙස මේවා භාවිත කෙරේ. පුපුරන ද්‍රව්‍යවල පිපිරුම්කාරක ගුණය ඉහළ නැංවීමට අවශ්‍ය ඔක්සිකාරකයක් (නයිට්‍රෝ ග්ලිසරින්) ලෙස ද මේ සංයෝගය භාවිත කෙරේ. පතල් කැණීම්වලදී පිපිරීම් සඳහා යොදා ගනී. ඇමෝනියම් නයිටේ්‍රට් රත් වෙද්දී, නයිට්‍රජන්, ඔක්සිජන් සහ ජල වාෂ්ප වෙන් වෙන අතර, එවිට නිර්මාණය වන ඔක්සිජන් දහන පෝෂකයක් ලෙස කටයුතු කරන බැවින්, තවත් ගිනි ගැනීම් සහ පිපිරීම් සිදුවෙයි. ත්‍රස්තවාදීහු බෝම්බ නිපදවීමට ඇමෝනියම් නයිටේ්‍රට් යොදා ගනිති. ඒ පහසුවෙන් ලබා ගැනීමට හැකි බැවිනි. 2013 වසරේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර බෝම්බ පිපිරුම සඳහා භාවිත කළේ ඇමෝනියම් නයිට්‍රේට් ය.

ඇමෝනියම් නයිට්‍රේට් මුල්කොට ගනිමින් මීට පෙර මේ අයුරින් පිපිරීම් සිදුවී තිබේ. ජීවිත හානි සහ දේපොල හානි වාර්තා වී තිබේ. 1947 අප්‍රේල් 16 දා ඇමෙරිකාවේ ටෙක්සාස් හි මහා පිපිරුමක් සිදුවිය. ඇමෙරිකන් ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම කාර්මික අනතුරුවලින් එකක් ලෙස මෙම පිපිරුම සැලකෙයි. න්‍යෂ්ටික පිපිරුමක් නො වුවත් සිදුවුණු හානිය න්‍යෂ්ටික පිපිරුමකට සමාන විය. ලෙබනන් වරාය පිපිරීමට පෙර, ඇමෝනියට් නයිටේ්‍රට් සම්බන්ධ පිපිරීමක් වාර්තා වූයේ 2015 අගෝස්තු 12 වැනිදා චීනයේ ටියැංජියැං වරායේ ය. එහිදී ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 800 ක් පුපුරා ගියේ ගොඩනැගිලි සහ නිවාස බිමට සමතලා කරමින් 200 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි. තුවාල ලැබූ ගණන දහස ඉක්මවීය.

අප ශ්‍රී ලංකාවේ ද කාබනික කෘෂිකර්මාන්තයට අමතරව රසායනික පොහොර භාවිතයට ගැනෙයි. කෘෂිකාර්මික කටයුතු වර්ධනය කර ගැනීමට ඇමෝනියම් නයිට්‍රේට් පොහොර විදේශවලින් ආනයනය කෙරේ. මෙලෙස ආනයනය කරනු ලබන ඇමෝනියම් නයිට්‍රේට් ආරක්ෂක ක්‍රියාවලියකට වරාය පර්යන්තයේ දී නිසි පරිදි ගොඩබෑම, ගබඩා කිරීම සහ පසුව ප්‍රවාහනය සිදු කෙරේ. අනතුරු වළක්වා ගැනීම කළ හැකි වන්නේ ක්‍රමවත් ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමෙන් පමණි.

විදෙස් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS