ලොවට අමතක වුණු ඩාවින්චිගේ පාලම



ලියනාඩෝ ඩාවින්චි ගැන නොදන්නේ කවුරුද? 14 වැනි සහ 16 වැනි සිවයසේ, යුරෝපයේ කලාශිල්පවල පුනරුදයක් දකින්න ලැබුණි. මේ කාලයේ ඉතාලියේ සිටි සිත්තරා, නව නිර්මාණකරුවා ලියනාඩෝ ඩාවින්චි ය. උපන්නේ 1452 වසරේ අප්‍රේල් 14 වැනිදා හෝ 15 වැනිදා යැයි පැවැසෙයි. 1519 වසරේ මැයි දෙවැනිදා, අවුරුදු 67 දී ඩාවින්චි මෙලොවින් සමුගත්තේය. මියයන අවස්ථාවේ ඩාවින්චි සිටියේ ප්‍රංශයේය.

ඩාවින්චි ගැන කියද්දී සිහියට නැගෙන්නේ මොනලිසා සිතුවමය. අද ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මොනලිසා සිතුවම ඩාවන්චිගේ අප දන්නා විශිෂ්ටතම නිර්මාණයයි. මොනලිසා සිතුවම ලූව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබුණේ 1797 වසරේ සිටය.


ඩාවින්චි එදා මෙදා ලොව පහළ වුණු විශිෂ්ටතම සිත්තරා පමණක් නොවෙයි, ඔහු නව නිර්මාණ ශිල්පියෙකු ද නොවෙයි. මූර්ති කලාව, සංගීතය, ගණිතය, ඉන්ජිනේරු විද්‍යාව, තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව, ලේඛන කලාව සහ ඉතිහාසය පිළිබඳ ඔහුට තිබුණේ විශිෂ්ට දැනුමකි. බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ‘පියා’ ලෙස සැලකෙන්නේ ඩාවින්චිය.

ඔබ පුදුම වේවි, පළමුවරට පැරෂූටයක් නිපදවීම, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකියක් නිපදවීම කළේ ලියනාඩෝ ඩාවින්චිය.

ඩාවින්චි ලොව දිගම පාලම ඉදිකිරීමට සැලැසුම් සකස් කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ වසර ගණනාවක් තිස්සේ කාටත් අමතක වී තිබුණු ඩාවින්චිගේ දල සටහන් පෙළක් සහ ලිපියකිනි. එම දල සටහන් අනුව, ඒ අයුරින් පාලමක් ඉදි කළ නොහැකි බවත්, එය ශක්තිමත් නොවනු ඇති බවටත්, එදා ඉන්ජිනේරුවන් අතරේ අදහසක් පැවැතිණි. ඒ නිසා පාලමේ අදහස අත්හැර දමා තිබේ.

ඉතිහාසයට අමතක වුණු මෙම පාලමේ දල සටහන් ගැන හොඳින් අධ්‍යයනය කළ එම්.අයි.ටී. ඉන්ජිනේරු උපාධි ශිෂ්‍යාව කාර්ලී බැස්ට් ලොවට පෙන්වා දී ඇත්තේ, ඩාවින්චි සැලැකුම් කර ඇති අන්දමට ශක්තිමත් මෙන්ම දීර්ඝ කලක් නොනැසී පවතින පාලමක් ඉදි කළ හැකිව තිබුණු බවය. කාර්ලී බැස්ට් මේ බව ලොවට හෙළි කරන්නේ දල සටහන් ඇසුරින් කුඩා අනුරුවක් ද නිර්මාණය කරමිනි. මේ වනවිට ලොව බොහෝ දෙනකුගේ අවදානය මීට යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

1502 දී ලොව දිගම පාලම ලෙස ඩාවින්චිගේ මෙම පාලම ඉදිකිරීමට නියමිතව තිබුණත්, එය ශක්තිමත් එකක් නොවන බවට බියක් හටගත් නිසා පාලම ඉදි නොවිණි. 1502 දී මෙම පාලම ඉදි කෙරුණේ නම් ඒ වනවිට ලොව දිගම පාලම එය වනු ඇත. උස අඩි 920 ක් වනු ඇතැයි කාර්ලි වැඩිදුරටක් පැහැදිලි කරයි.

මෙම පාලම අසාර්ථක වේවි යැයි ඉන්ජිනේරුවන් සිතුවේ ඊට බාහිර ආධාරක කිසිවක් සම්බන්ධ නොාවන බැවිනි. කාර්ලි පෙන්වා දී ඇති අන්දමට, පාලමේ ශක්තිය රැඳෙන්නේ, එය ඉදිකිරීමට ගන්නා ගඩොල් හෝ කළුගල් හෝ එකිනෙකට තෙරපී, එකිනෙක හොඳින් අල්ලා ගැනීම නිසාය. ආධාරක කිසිවක් නොමැතිව, පාලම ශක්තිමත්ව රැඳී පැවැතීමට මෙම තෙරපුම ඉවහල් වන බව ඩාවින්චි ඔහුගේ සටහන් ඇසුරින් පැහැදිලි කර ඇත.

1502 දී පාලමක් අවශ්‍ය බව ඩාවින්චිට දන්වා දල සටහන් ලබාගෙන ඇත්තේ දෙවැනි බයේසිද් සුල්තාන්වරයා ය. ඒ, ඉස්තාන්බුල් නුවර පාලමක් ඉදිකිරීමට යැයි ඉතිහාස වාර්තාවල දැක්වෙයි. ඩාවින්චි, පාලම ඉදි කළ යුතු අයුරු පැහැදිලි කරමින් සුල්තාන්ට ලිපියක් යවා ඇත. සුල්තාන්ගේ උපදේශකවරුන්, පාලම ශක්තිමත් නොවන බව පෙන්වා දීමෙන් පසු පාලම ගැන අදහස අතහැර දැමුණු අතර, ඩාවින්චිගේ ලිපිය සහ දල සටහන් වසර 500 ක් තිස්සේ අමතක වී තිබුණි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරින්


RECOMMEND POSTS

RELATED POSTS