ජල වාෂ්ප පිරි ග්‍රහයෙක් හමුවෙලා



සෞර ග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටි පෘථිවියට සමාන ග්‍රහලොවක ජල වාෂ්ප පිරි වායු ගෝලයක් ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.

සෞර ග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන්, පෘථිවියට සමාන, ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කෙරන ග්‍රහලෝක සිය ගණනක් තාරකා විද්‍යාඥයන් විසින් මේ වනවිට සොයා ගනු ලැබ තිබුණත්, ජල අංශු පිරි වායුගෝලයක් සහිත ග්‍රහයකු ගැන අනාවරණයක් කිරීමට හැකිවුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම ග්‍රහයා නම් කර ඇත්තේ ‘කේ2-18බී’ යනුවෙනි. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහයා සොයා ගත්තේ 2015 දීය. ඒ, තවත් පෘථිවියට සමාන ග්‍රහලෝක රැසක් ද සමඟය. කෙසේ නමුත් ‘කේ2-18බී’ ග්‍රහලොවට ජල වාෂ්ප පිරි වායුගෝලයක් ඇති බව සොයා ගැණුනේ පසුගිය සතියේය. තාරකා විද්‍යාඥයන් ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ පසුගිය 11 වැනිදා ය.

2015 වසරේ දී ‘කේ2-18බී’ ඇතුළු පෘථිවියට සමාන යැයි අනුමාන කළ ග්‍රහයන් සොයා ගැනීම කළේ නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයේ ආධාරයෙනි.

කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා ඇත. එය අති නවීන තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දකි. අප සෞග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පෘථිවිය හා සමාන ග්‍රහලෝක සෙවීම කෙප්ලර්ගේ අරමුණ වී තිබේ.

‘කේ218බී’ ග්‍රහලොවට ජල වාෂ්ප පිරි වායුගෝලයක් ඇතැයි සොයා ගැණුනේ, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට සම්බන්ධ, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ ජියොවන්නා ටිනෙටි ඇතුළු තාරකා විද්‍යාඥයන් කණ්ඩායමය.

‘පෘථිවියට සමාන යැයි කිව හැකි අපට ග්‍රහලෝක රැසක් හමුවී තිබෙනවා. ඒවායින් බොහොමයක් සොයා ගැනීම කළේ 2015 දී. ඉන්පසුවත් කෙප්ලර් දුරේක්ෂය ආධාරයෙන් තවත් ග්‍රහයන් සෙයො ගැණුනා. මෙතෙක් සොයා ගත් එවැනි ග්‍රහයන් ගණන 4,000 ට වැඩියි. ඒත් ‘කේ2-18බී’ ඒ සියල්ල පරදනවා. මේ ග්‍රහලෝකයේ ජල වාෂ්ප පිරි වායුගෝලයක් තිබෙනවා. මතුපිට පාෂාණ ස්ථර තිබෙනවා.

මතුපිට සාගර තිබෙනවාදැයි අපට තහවුරු කරගන්න තවමත් හැකියාවක් නැහැ. කෙසේ නමුත් සාගර පැවැතීමේ ඉඩක් තිබෙනවා. වාතයේ ජල වාෂ්ප තිබෙනවා කියන්නේ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක තිබෙනවා යන්නයි. වායු ගෝලයේ ඔක්සිජන් තිබෙනවා යන්නයි.” යැයි විද්‍යාඥ ජියොවන්නා ටිනෙටි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ස්කන්ධය අනුව, ‘කේ2-18බී’ පෘථිවිය මෙන් අට ගුණයක් බවත් ප්‍රමාණයෙන් එය පෘථිවිය මෙන් දෙගුණයක් බවත් තාරකා විද්‍යාඥයෝ කියති. ‘කේ2-18බී’ ග්‍රහලොව ද තරුවක් වටා කැරැකෙයි. ‘කේ2-18බී’ පිහිටා ඇත්තේ තරුවට වඩාත් ළඟින් හෝ වඩාත් දුරින් නොවන හෙයින් එහි ජීවය පැවැතීමට හෝ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක හෝ පිරුණු තැනක් බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ආලෝක වර්ෂ 111 ක් දුරින් මෙම ‘කේ2-18බී’ ග්‍රහයා පිහිටයි. මන්දාකිණි හා තරු අතර දුර මනින්නේ ආලෝක වර්ෂ වලිනි. ආලෝකය එක් තත්පරයක දී කි.මී. 2,97,600ක දුරක් (සැතපුම් 1,86,000ක දුරක්) ගමන් කරයි. ඒ අනුව ආලෝකය, එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ ගෙන අභ්‍යවකාශ දුර මනිනු ලබයි. හිරුගේ සිට අප වෙත (පෘථිවියට) ආලෝකය ඒමට මිනිත්තු 8.6 ක් ගතවෙයි.

විශ්වයේ රහස් සොයා ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යවකාශයේ රඳවා ඇත්තේ කෙප්ලර් දුරේක්ෂය පමණක් නොවෙයි. ‘හබල්’ සහ ‘ස්පිලිට්සර්’ යන දුරේක්ෂවලින් ද නව ග්‍රහලෝක, ග්‍රහක සොයා ගැනීම සිදු වෙයි. ඉතා කුඩා ආලෝක චලනයක් වුවද හසුකර ගැනීමේ හැකියාව මෙම දුරේක්ෂවලට ඇත.

කෙප්ලර් දුරේක්ෂයට ඇත්තේ මෙගා පික්සල් 95 ට වඩා වැඩි කැමරා පද්ධතියකි.  ග්‍රහලොවක් තරුවක් වටා කැරැකෙද්දී, එම ග්‍රහලොව තරුව පසුබිම් කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට කෙප්ලර් දුරේක්ෂයට හැකියාව ඇත. අලුත් ග්‍රහයින් සොයා ගැනීම සිදු කෙරෙන්නේ ඒ අනුවය.

ලුසිත ජයමාන්න
‘ඒ.එෆ්.පී.’ ඇසුරිනි

RECOMMEND POSTS

RELATED POSTS