ජල පෝෂක ප්‍රදේශයේ කෘත්‍රිම වැසි



ශ්‍රී පාද කදුවැටියට ඉහළින්, මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ‘වයි 12’ වර්ගයේ ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8,000 ඉහළින් වූ වළාකුළුවලට කෘත්‍රිම වැසි නිර්මාණය සඳහා විනාඩි 45 ක් පුරාවට රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කෙරුණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් මෙම කෘත්‍රිම වැසි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ බව ද පැවැසෙයි.

බලශක්ති අර්බුදවලදී පමණක් නොව, දරාගත නොහැකි ආකාරයට පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් මරණ සිදුවන අස්ථාවලදී නිවර්තන කලාපීය රටවල් කෘත්‍රිම වැසි නිර්මාණය කිරීම සාමාන්‍ය දෙයකි. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බවත් පැවැසෙයි.

සාගර, මුහුදු, ගංගා, ඇළ දොළ, වැව් සහ පොකුණුවල ජලය හිරු රශ්මියට වාෂ්පීකරණය වී, ඉහළට ගොස් ඝනීභවනය වී වළාකුළු සෑදෙයි. වායුගෝලය සිසිල් වෙද්දී, වළාකුළුවල එකතු වී පිරුණු ජල බිංදු ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පහළට පතිත වෙයි. වැස්ස යනුවෙන් අප හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. කෘත්‍රිම වැසි නිර්මාණයේ දී, අද වනවිට රසායනික ද්‍රව්‍ය කිහිපයක් භාවිතයට ගැනෙන නමුත් ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ ඝන කාබන් ඩයොක්සයිඞ් කුඩු වර්ගය.

ඉහළ වළාකුළුවලට ඉසීම සිදු කරනු ලබන්නේ මෙම කුඩුය. එවිට එම වළාකුළු ආශ්‍රිත කලාපයේ තෙත් ගතිය වැඩි වී, කෘත්‍රිම වැසි නිර්මාණය වෙයි. ඝන කාබන් ඩයොක්සයිඞ් කුඩුවලට අමතරව, සෝඩියම් ක්ලෝරයිඞ් සහ ජලය මිශ්‍රණයක් ද යොදා ගනී. දැඩි වියළි කාලගුණයක් සහ නියගයක් පවතිද්දී පමණක් නොව, පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිරී යන මහා ළැව් ගිනි නිවා දැමීමට ද කෘත්‍රිම වැසි නිර්මාණය කෙරේ.

කෘත්‍රිම වැසි නිර්මාණයට රසායනික කුඩු ඉසීම ක්‍රම දෙකකට සිදුවෙයි. බහුලව සිදුවන්නේ සැහැල්ලු කුඩා ගුවන් යානා යොදා ගනිමින් උඩු ගුවනට ගොස් එම රසායනික කුඩු මුදා හැරීමය. දෙවැනි ක්‍රමය වන්නේ මිසයිල යොදා ගෙන රසායනික කුඩු හෝ දියර අහසට විදීමය. මෙම දෙවැනි ක්‍රමය ඇමෙරිකාවේ වියළි සහ කාන්තාර ප්‍රදේශවල භාවිතයට ගැනෙයි. කෘත්‍රිම වැසි වැස්සීම චීනය, අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් වසර 50 ක් තිස්සේ සාර්ථකව සිදු කරයි.


RECOMMEND POSTS

RELATED POSTS