කිම් ජොන් උන්ගේ අතුරුදන්වීම



‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරස ජරමර මැද උතුරු කොරියා නායක කිම් ජොන් උන් දින හිටිහැටියේ දින 20 ක් අතුරුදන් විය. අවසන් වරට නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අප්‍රේල් 11 වැනිදාය.

ඉන්පසු ඔහු අතුරුදන් විය. කිම් ජොන් උන්ගේ සීයා මෙන්ම උතුරු කොරියාවේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන කිම් ඉල් සන්ගේ ජන්ම දින සැමරුම පැවැත් වූයේ අප්‍රේල් 15 වැනිදාය. එම සැමරුම් උත්සවයට කිම් ජොන් උන් හෝ කිම් ජොන් යොංග් හෝ සහභාගී වූයේ නැත. ඒ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් කොරියානු මාධ්‍ය කුහල පළ පළ කරද්දී, උතුරු කොරියානු රජයේ නිල පුවත් සේවයෙන් ඊට පිළිතුරක් ලැබුණි.

36 හැවිරිදි නායක කිම් ජොන් උන් පසුගිය 12 වැනිදා හදවත් සැත්කමකට ලක් වුණු බවත්, සැත්කමින් පසු ඔහු නිවාඩු නිකේතනයක විශේෂ ආරක්ෂාවක් යටතේ පසුවන බවත්ය. කිම් ජොන් උන් අධික ලෙස තරබාරු තැනැත්තකු වන අතර ඔහු දුම් බීමට ද ඇබ්බැහි වූවෙකි. ඒ නිසා සැත්කමක් සිදු කරන්න ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් අතරේ කසුකුසුවක් ඇති විය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව සම්බාධක පනවා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බාධක පනවා ඇත. මේ නිසා උතුරු කොරියාව තුළ සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව දැනගත හැකි ක්‍රමයක් නැත.

මේ අතරේ, හදවත් සැත්කමින් පසු මොළය මියයෑමෙන් කිම් ජොන් උන් මරණාසන්නව සිටින බව ‘ද සන්’ ඇතුළු බි්‍රතාන්‍ය පුවත් වෙබ් අඩවි රැසක් වාර්තා කරන්න විය. ‘ද සන්’ පුවත් වෙබ් අඩිය පුවත් මෙසේ පළ කළේ ලන්ඩන් නුවර උතුරු කොරියා තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස කටයුතු කරන තේ යොංග් කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමිනි. තේ යොංග් කියා සිටියේ නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින දුර්වල බවය. ඒ අනුව, බටහිර හිතැති මාධ්‍ය කිම් ජොන් උන් නොමරා මරා දැම්මේය. ‘ද සන්’ වෙබ් අඩවිය ඔවුන්ගේ එක් ලිපියකින් කිම් ජොන් උන්ගේ දේහය මහජන ප්‍රදර්ශනයට තබා ඇති අයුරු දැක්වෙන ඡායාරූප පවා පළ කළේය. පසුව ඒ සියල්ල බොරු බව තහවුරු වූයේ මැරුණයි කී නායක කිම් ජොන් උන් පසුගිය මැයි පළමු වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටීමත් සමඟය.

ඒ අනුව, ලන්ඩන් නුවර උතුරු කොරියා තානාපති නිලධාරී තේ යොංග් ට නායක කිම් ජොන් උන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට ද සිදුවිය.

මැයි පළමු වැනිදා එනම් ලෝක කම්කරු දිනය දා නායක කිම් ජොන් උන් පොහොර කම්හලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය. නැගණිය මෙන්ම ප්‍රධාන උපදේශිකාව ද වන කිම් ජොන් යොංග් ද එම උත්සවයට සහභාගී වී සිටියාය. ඒ සමඟ ප්‍රශ්න පිට ප්‍රශ්න නැගෙන්න විය. කිම් ජොන් උන් සැබැවින්ම හදවත් සැත්කමකට ලක්වූවාද යන්න ප්‍රධානතම ප්‍රශ්නයයි. සැත්කමින් පසු කිම් ජොන් උන් ඉක්මනින් සුවය ලබා ඇත. මොළය මියගියේ යැයි කීවේ බොරුවක් බව පැහැදිලිය.

සැත්කමක් සිදුවූයේ නම් එය බරපතල එකක් නොවෙයි. කෙසේ නමුත් දින 20 කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් සැඟවී සිටියේය. ඒ ඇයි ? ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයෙන් බේරීමටද ? උතුරු කොරියා සෞඛ්‍ය අංශ අනුව එරටින් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැත. ලෝක බැංකුව ද මෙය තහවුරු කර තිබේ.

නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් පසු ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය යළි හරි අපූරු මෙන්ම රසවත් පුවත් කිහිපයක් පළ කළේය. කිම් ජොන් උන් සැත්කමකට ලක් නොවුණු බවත්, ඔහු සැත්කමකට ලක් වුණු බව පවසමින් දින 20 ක් අතුරුදන්ව සිටියේ, ඔහු නෙරපා බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කර ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු හඳුනා ගැනීමට බවත් එක් පුවතක සඳහන් වී ඇත. ලන්ඩන් නුවර උතුරු කොරියා තානාපති නිලධාරී තේ යොංග් කඩිනමින් කිම් ජොන් උන්ගෙන් සමාව ඉල්ලීමක් කළේ ද්‍රෝහි වූ කණ්ඩායමේ ඔහු ද සිටින බැවින් යැයි ‘ද සන්’ වෙබ් අඩවිය සැක පළ කර තිබේ.

පොහොර කම්හල විවෘත කිරීමට පැමිණ සිටි නායක කිම් ජොන් උන්ගේ දකුණු අතේ මැද පුංචි තුවාල කැලල ඇති බව ‘ද සන්’ වෙබ් අඩවිය පළ කළ තවත් වාර්තාවක දැක්වෙයි. එය එන්නත් කටුවකින් සිදුවූවක් බව ඇතැම් වෛද්‍යවරු පෙන්වා දෙති. ඒත් එය එන්නත් කටුවකින් සිදුවුණු තුවාල කැලැලක් නොවන බවත් පිහියක් වැනි තියුණු උල් ආයුධයකින් එල්ල වූ පහරක් විය හැකි බවත් පෙන්වා දෙන අය ද සිටී.

අප්‍රේල් 11 වැනිදා, අතුරුදන් වීමට පෙර ප්‍රසිද්ධියට පත් කළ නායක කිම් ජොන් උන්ගේ ඡායාරූපවල එම තුවාල සලකුණ නැත. එසේ නම් සිදුවන්න ඇත්තේ කුමක්ද? කවුරුන් හෝ කිම් ජොන් උන්ට පහර දී මරන්න තැත් කළාද? එසේ නම්, එය කරන්න ඇත්තේ ඔහුගේ ඉතා සමීපතමයකු විය යුතුය. ආරක්ෂක අංශ මඟහැර නායක කිම් ජොන් උන්ට ළං වීමපහසු දෙයක් නෙවෙයි. සැත්කමකට ලක්වුණු බව කියමින්, දින 20 ක් නායක කිම් ජොන් උන් අතුරුදන්ව සැඟවී සිටියේ සතුරන්ගෙන් බේරෙන්නටද? නැතිනම් සතුරන් අල්ලා ගැනීමේ උපක්‍රමයක් ලෙසද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත.

මේ අතර දකුණු කොරියා ජනාධිපති කාර්යාලය ද නිල නොවන වශයෙන් පවසා ඇත්තේ උතුරු කොරියා නායකයා හදවත් සැත්කමකට ලක්වුණැයි විශ්වාස නොකරන බවය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ හිතවත්කම් පවතී. ඒ, දෙදෙනා අවස්ථා කිහිපයකදී එකිනෙකා හමුවී ඇති බැවිනි. උතුරු කොරියා නායකයා මියගියැයි කී අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ එය අසත්‍යයක් බවය. මේ අතර ඇමෙරිකා හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියකු වන ජැක් කෙනා පවසා ඇත්තේ උතුරු කොරියා නායකයා මුල්කොට ගනිමින් සිදුවුණේ කුමක් වුවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් පොම්පේඕ ඒ ගැන දන්නා බවය.

පසුගිය දෙවැනිදා උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුවිය. උතුරු කොරියා සොල්දාදුවන්, දකුණු කොරියා හමුදා මුරපොළකට වෙඩි තැබූ බවත්, දකුණු කොරියානු හමුදා පෙරළා උතුරු කොරියාවට වෙඩි තැබූ බවත් වාර්තා විය. මේ අයුරින් දෙරට අතරේ වෙඩි හුවමාරුවක් සිදුවූයේ 2017 වසරෙන් පසුවය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා ඇත්තේ එය අත්වැරදීමකින් සිදුවුණු වෙඩි හුවමාරුවක් බවය.

‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS